Sunday, September 08, 2024
Follow Us
කුණු දාන්න වුණත් ලස්සනම තැනක් හදන්න ඕනෙ

ගෘහිණියක් වුණාම අපිට හරිම වැදගත් නිර්මාණශීලී අදහස් කියන දේ. අපි හැමෝම ආසයි අපේ නිවෙස ලස්සනට තියා ගන්න. අපි නොහිතන පුංචි පුංචි දේවල්වලින් පුළුවන් ඒ දේ කරගන්න. ඉතින් අපි අද කතා කරන්න යන්නේ අපේ නිවෙසේ තියන ඩස්බින් එක එහෙමත් නැතිනම් කුණු බහාලන බඳුන කොහොමද අලංකාරකර ගන්න ලස්සන කවර් එකක් නිර්මාණයකර ගන්නේ කියලා. මේක කවුරුත් වැඩිය නොහිතන හරිම අපූරු නිර්මාණයක්.

අවශ්‍ය ද්‍රව්‍ය = සුදු පාට වූල්

රෝස පාට වූල්

4 mm වූල් කටුවක්

පළමුව මැජික් ring එකක් සාදා එයට තුන්පොට පිරවුම් දහයක් ගොතා රවුමක් නිර්මාණයකර ගන්න (සුදු පාට වූල් භාවිතා කරන්න.)

එහි දෙවැනි වටය නිර්මාණය කිරීමට රවුමේ සෑම සිදුරකටම තුන්පොට පිරවුම් දෙක බැගින් ගොතා රවුම අවසන් කරන්න.

තුන්වැනි වටය සඳහා පළමු සිදුරට තුන්පොට පිරවුමක්ද දෙවැනි සිදුරට තුන්පොට පිරවිලි දෙකක්ද ගොතා ගන්න. මේ ආකාරයට රවුම අවසන්කර ගන්න.

හතරවැනි වටය සඳහා පළමුව තුන්පොට පිරවුමක්ද, ඊළඟ සිදුරටත් තුන්පොට පිරවුමක්ද, ඊළඟ

සිදුරට තුන්පොට පිරවුම් දෙකක්ද ගොතා ගන්න.

පස්වැනි වටය සඳහා සෑම සිදුරකටම තුන්පොට පිරවිලි දෙක බැගින් ගොතා ගන්න. හයවැනි වටය සඳහා තුන්පොට පිරවිලි එකයි, තුන් පොට පිරවිලි එකයි තුන්පොට පිරවිලි දෙකයි යන රටාව අනුගමනය කරමින් රවුම ගොතා ගන්න.

හත්වැනි වටය සඳහා සෑම සිදුරකටම එක බැගින් තුන්පොට පිරවිලි ගොතා ගන්න.

අටවැනි වටය සඳහා තුන්පොට පිරවිලි එකයි, තුන්පොට පිරවිලි දෙකයි යන රටාව අනුගමනය කරමින් ගොතා ගන්න.

නවවැනි වටය සඳහා පෙර රටාවම අනුගමනය කරන්න. දහවැනිවට එය සඳහා තුන්පොට පිරවිලි එකයි, තුන්පොට පිරවිලි එකයි, තුන්පොට පිරවිලි එකයි තුන්පොට පිරවිලි දෙකයි යන රටාව අනුගමනයකර ගොතා ගන්න.

එකොළොස්වැනි වටය සඳහා සෑම සිදුරකටම තුන්පොට පිරවිලි එක බැගින් ගොතා ගන්න.

දොළොස්වැනි වටය සඳහාත් තුන්පොට පිරවිලි එක බැගින් රවුම අවසන්වන තෙක් ගොතා ගන්න.

දහතුන්වැනි වටය සඳහා තුන්පොට පිරවිලි එකයි, එකයි, එකයි, දෙකයි යන රටාව අනුගමනය කරන්න.

දාහතර සහ පහළොව වට සඳහා සෑම සිදුරකටම තුන්පොට පිරවිලි එක බැගින් ගොතා ගන්න.

මේ ආකාරයට රවුමක් සාදා ගැනීමෙන් අනතුරුව සෑම සිදුරකටම තුන්පොට පිරවුම් එක බැගින් ගොතමින් වට තිහක් ගොතාගන්න. (අපගේ නිර්මාණයේ උස ප්‍රමාණය මෙයින් තීරණය කරයි. එම නිසා ඔබට අවශ්‍ය උස ප්‍රමාණයට වට ගණන අඩු වැඩිකර ගන්න. )

පියන කොටස සාදා ගැනීමට පළමුව මැජික් රින්ග් එකක් නිර්මාණයකර එයට තුන්පොට පිරවිලි දහයක් ගොතා ගන්න.

ඉන්පසු දෙවැනි වටය සඳහා සෑම සිදුරකටම තුන්පොට පිරවුම් දෙක බැගින් ගොතා ගන්න.

තුන්වැනි වටය සඳහා තුන්පොට පිරවුම් එකයි, තුන්පොට පිරවුම් එකයි, තුන්පොට පිරවුම් දෙකයි යන රටාව අනුගමනය කරමින් ගොතා ගන්න.

හතරවැනි වටේ සඳහා තුන්පොට පිරවුම් එකයි, තුන්පොට පිරවුම් එකයි, තුන්පොට පිරවුම් එකයි, තුන්පොට පිරවුම් දෙකයි යන රටාව ගොතා ගන්න.

පස්වැනි වටය සඳහා තුන්පොට පිරවුම් එකයි, තුන්පොට පිරවුම් එකයි, තුන්පොට පිරවුම් එකයි, තුන්පොට පිරවුම් එකයි, තුන්පොට පිරවුම් දෙකයි යන රටාව අනුගමනය කරමින් ගොතා ගන්න.

හය හත අට යන වට සඳහා සෑම සිදුරකටම තුන්පොට පිරවිලි එක බැගින් ගොතා ගන්න.

නමවැනි වටය සඳහා තුන්පොට පිරවිලි එකයි තුන්පොට පිරවිලි එකයි තුන්පොට පිරවිලි දෙකයි යන රටාව අනුගමනයකර ගොතා ගන්න.

දහය එකොළහ වට සඳහා එම රටාව අනුගමනය කරන්න.

දොළොස්වැනි වටය සඳහා සෑම සිදුරකටම එක බැගින් තුන්පොට පිරවිලි ගොතා ගන්න.

13, 14, 15 වට සඳහා සෑම සිදුරකටම එක බැගින් තුන්පොට පිරවිලි ගොතා ගන්න.

පියන කොටස වටේ අලංකාරකර ගැනීමට කුඩා මල් සාදාගෙන එය පියන වටේ අලවා ගැනීම සිදුකර ගන්න.

මල සාදා ගැනීමට සිදුරු දහයක් ගොතා එයට තුන්පොට පිරවිලි දහයක් ගොතා එය අතින් රවුම්කර රෝස මලක් ආකාරයට එහි හැඩය සකසා ගන්න. මේ ආකාරයට මල් නිර්මාණයකර පියන කොටස අලංකාරකර ගන්න.

මේ ආකාරයට නිර්මාණයකර ගත් කවර් එක භාවිතා කරමින් ඔබේ නිවෙසේ ඇති ඩස්බින් එක අලංකාර කර ගන්න.

Tharunie