Saturday, April 27, 2024
Follow Us
අහක දමන ලී කෑල්ලටත් පවුලක් රකින්න පුළුවන්

මේ ලෝකේ ජීවත්වෙන හැම මනුස්සයෙක්ගෙම ජීවිතය තුළ ඉහළ යෑම් වගේම පහළට වැටීම් ඕනෙ තරම් සිද්ධ වෙනවා. ඒ මනුස්සයා කවුද කියලා ඒ අභියෝගවලට අදාළම නැහැ. ඒත් මිනිස්සු අභි‍යෝ්ගවලට මුහුණ දෙන්නේ විවිධාකාර විදිහට. මේ ලෝකෙ ශක්තිමත්ම මිනිසාට වුවත් අමාරු කාලවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ඔයාට මට අපි හැමෝටම ජීවිතේ අමාරු කාල එනවා. එකපාරක් නෙමෙයි. කීප වතාවක්ම සිද්ධ වෙනවා. ඒත් ඒ අමාරු කාලවලදී ඒ දේවල්වලට ශක්තිමත්ව මුහුණ දෙන්න ඔයා ඔයාට කියා දෙන්න. ඒ වගේ කුණාටු සමයන්හිදීම ඔයා ඉස්සෙල්ලම හිතන්න ඕනෙ ඔයාගේ මානසික නිදහස ගැන විතරමයි. ඒ වගේම ඔයාගේ ජීවිතය ගැන.

ඉතින් සියල්ලටම ශක්තිමත්ව මුහුණ දෙන්න. ඒ කුණාටු සමය ශක්තිමත්ව ගත කරන්න. ඔයා ඔයාට පුළුවන් තරම් කාලය දෙන්න. ආයෙත් අලුතෙන් හැමදේම ගැන හිතන්න පටන් ගන්න. මුහුණ දුන්නු කුණාටුව ගැන ආයෙ ආයෙත් හිතන්න එපා. ඒක ගැන මෙනෙහි කරන්න එපා. ජීවිතය අලුතින් පටන් ගන්න.

ඔය කුණාටුව තව ටික දවසයි. හැමදේම ඔයාට අවශ්‍ය විදිහටම සිද්ධ වෙනවා. හරිම වෙලාවට ඔයා බලන් ඉන්න ඒ හොඳම දේ ලැබෙනවා.

මේ උත්සාහ දරන්නේ ජීවිතය ගොඩ යාමටය. ඔබ දැනටමත් හරි මාවත තෝරාගෙන අහවරයි. ඒ සිහිනය වෙනුවෙන් කැපවෙන්න. ජීවිතය දිනීමට නම් ඔබ ඔබටම සුවිශේෂී විය යුතු වේ. ජීවිතයේ සියලු දේ දරාගත හැකි, සිහින ජය ගැනීම වෙනුවෙන් ඕනෑම සටනක යෙදිය හැකි, ශක්තිමත් රණකාමියකු වන්න. පුංචි මල් කිනිත්තකින්, මල් පොහොට්ටුවකින්, ජීවිතය ජයගත හැකි මාවත වැඩි ඈතක නොවෙයි.

ඒ අධිෂ්ඨානයත් සමඟින් අද තරමක් සංකීර්ණ නිර්මාණයක් කරමු. අපි අද වියළි ලී කෑල්ලක් හෝ තද වැලක කොටසක් උපයෝගී කරගෙන සිදුකරන ලස්සන නිර්මාණයකට ජීවය දෙමු.

මේ සඳහා තරමක ඇද හැඩයක් ඇති වියළි ලී කොටසකුයි අප තෝරා ගනු ලැබුවේ. මේ සඳහා එකතු කරන වියළි කොටස් කුඩාවට කපා ගත යුතුය. නැතිනම් වැල් කැබලි වටේට අමුණා ගැනීමේදී නිර්මාණයේ ඝනකම වැඩියි. එයින් නිර්මාණය අවලස්සන විය හැකියි. දැන් තෝරාගත් වැල් කැබැල්ල දුඹුරු හෝ කළු පැහැයෙන් වර්ණ ගන්වා ගන්න. ඉන්පසුව ඩ්‍රයි ෆෝම් කිහිපයක් අවශ්‍ය තැන්වල රඳවා ගන්න. ඒ මත කම්බි අමුණා ගන්න. ඊවන් (නියමිත හැඩයකට ක්‍රමානුකූලව) හෝ අන් ඊවන් (නියමිත හැඩයක් නොමැතිව) ලෙස නිර්මාණය සිදුකර ගන්න. අන් ඊවන් සැරසිල්ලක් කරන්නේ නම් එහි වටිනාකම වැඩියි. දැන් මෙයට ගැළපෙන ලෙස වියළි මල් ටිකෙන් ටික රඳවා ගන්න. ඒ අතර හිස්තැන් පුරවා ගැනීමට ඔබ කැමැති නම් කෘත්‍රිම මල් එකතු කළ හැකියි.

ඔබ නිර්මාණය සිදු කිරීමට යොදාගෙන ඇති වර්ණයන්ගෙන් හෝ එම වර්ණවලට ගැළපෙන කොහු ලණුවක් ගෙන උඩ අතට එළීම සිදුකර ගන්න.

බලන්න, ඔබ නොසිතන, පරිසරයේ ඉවතලන කොටස්වලින් ලස්සන, වටිනාකමින් වැඩි සොඳුරු නිර්මාණ කළ හැකි අපූරුව. මෙය ඔබට අඩි හත / අටක කණුවකට වුව යොදා ගත හැකියි.

Tharunie