Saturday, April 27, 2024
Follow Us
පේපර් කුවිලිං ක්‍රමයට අපූරු බිත්ති සැරසිල්ලක්

පේපර් කුවිලිං කලාවෙන් හැඩ වූ අපූරු මල් පොකුරකි. මේ ටියර් ඩ්‍රොප් සහ මාකිස් හැඩතලවලින් නිර්මාණයකර ඇති මේ මල් පොකුර විසිත්ත කාමරයට අපූරු කලඑළියක් ගෙන එනවා නේද?

ත්‍රීඩී සිත්තමක අසිරිය කියන්නෙම සුන්දර පේපර් කුවිලිං නිර්මාණයකි. විසිතුරු නිර්මාණයකින් නිවෙස හැඩ කරගන්න හිතන ළඳුන් වෙනුවෙන් අපි අද මේ පේපර් කුවිලිං නිර්මාණය තිළිණ කරන්නෙමු. ඉතින් ඔබේ නිවෙසට එන අමුත්තන්ගේ දෑස් පිනවීමට ඔබ අතින්ම කළ නිර්මාණයක් නිවෙසෙහි එල්ලා තිබෙන්නට හැකි නම් එය කෙතරම් අගනේ ද?

පේපර් කුවිලිං ක්‍රමයට සකසන මේ නිර්මාණය නිවෙසේ ඉදිරිපස දොරටුව අලංකාර කරන්න වගේම නිවෙස ඇතුළත සරසන්නත් කදිමයි.

අවශ්‍ය දේවල්

පේපර් ශේඩරය (1/8 පටි කපා ගැනීමට)

කුවිලින් ටූල් එක, ගම්, කතුර

තැඹිලි වර්ණ කීපයක A4 කොළ

කොළ වර්ණ කීපයක ඩයිකට්ස්

A3 ප්‍රමාණයේ කැන්වස් බෝඩ් එකක්

වර්ණ ගැන්වීම සඳහා ළා තැඹිලි සහ ළා නිල් ෆැබ්රික් පේන්ට්, පින්සලක්

ග්ලූ ගන් එක

නිර්මාණය කරගන්නා ආකාරය

පළමුව පේපර් ශේඩරය ආධාරයෙන් 1/8 පටි කපා ගන්න. ළා තැඹිලි වර්ණ මල් සඳහා 1/8 පටි 8ක් ගෙන එක දිගට වැලක් ආකාරයට අලවා ගන්න. පසුව ක්විවින් ටූල් එක ආධාරයෙන් තරමක් තදට සිටින සේ රෝල්කර කඳුළු බිංදු හැඩ සාදා ගන්න. සාදාගත් පසු අතින් තරමක් ඉස්සීමක්කර එහි ඇතුළත ගම් ආලේපකර වියළා ගන්න. එක මලක් සඳහා මෙවැනි පෙති 6ක් හෝ 7ක් පමණ අවශ්‍ය වේ. තද තැඹිලි වර්ණයෙන් ද මෙවැනි මලක් සඳහා පෙති නිර්මාණය කරගන්න.

පසුව අනෙක් ළා තැඹිලි සහ තද තැඹිලි මල් සඳහා 1/8 තනි පටිය බැගින් ගෙන කඳුළු බිංදු හැඩ සාදා ගන්න. තද තැඹිලි වර්ණ ලොකු මල් තුන සඳහා එක පෙත්තක් නිර්මාණය කිරීම සඳහා කඳුළු බිංදු හැඩ 5ක් එකට තබා අලවා එහි වටේට අවුට් ලයින් එකක් අලවා ගන්න. එක මලක් සඳහා මෙවැනි පෙති 6ක් පමණ අවශ්‍ය වේ. ළා තැඹිලි මල් තුන සඳහා එක පෙත්තක් නිර්මාණය කරගැනීමට කඳුළු බිංදු හැඩ 3ක් එකට තබා අලවා එහි වටේට අවුට් ලයින් අලවා ගන්න.

තද තැඹිලි මල් දෙකෙන් එක මලක් නිර්මාණය සඳහා පෙර පරිදිම කඳුළු බිංදු හැඩ 3ක් එකට තබා අලවා වටේට අවුට්ලයින් අලවා ගන්න. මෙවැනි පෙති 6ක් පමණ අවශ්‍ය වේ. අනිත් මල සඳහා කඳුළු බිංදු හැඩ තරමක් ලූස්ව සාදා ගන්න. මෙවැනි පෙති 9ක් පමණ අවශ්‍ය වේ.

මෙම මල්වල මැදට තිබෙන බට්න් ඩේසි මල් නිර්මාණය කිරීම සඳහා අඟල් 12ක් දිඟ අඟල් 1/2ක් පළල පටි කපා ගන්න. කපාගත් පටි වෙසක් කූඩුවක රැලි කපන ආකාරයට හීනියට කපා ක්විලීන් ටූල් එක ආධාරයෙන් රෝල්කර අලවා සාදා ගන්න. තද තැඹිලි මල් සඳහා සුදු වර්ණ 1/8 පටි 4ක් එක දිගට අලවා ටයිට් රෝල් සාදා එය තරමක් අතින් ඉස්සීම්කර ඇතුළත ගම් ආලේපකර වියළා ගන්න.

මෙහි පොහොට්ටු නිර්මාණය සඳහා පින්තූරයේ පෙනෙන පරිදි අදාළ වර්ණවලින් 1/8 පටි 3 බැගින් ගෙන එක දිගට අලවා ටයිට් රෝල් සාදා කෝන් එකක් ආකාරයට අතින් ඇද ගැනීමක්කර කොළ වර්ණයෙන් ද කෝන් සාදා වියැළුණු පසු තැඹිලි සහ කොළ කෝන් දෙක එකට තබා අලවා පොහොට්ටු නිර්මාණයකර ගන්න.

මෙහි කොළ සඳහා වෙළෙඳපොළෙන් ගන්නා ලද ඩයි කට්ස් භාවිත කරන්නේ නම් එම කොළ ටූල්කර ගන්න. මෙවැනි කොළ අතින් ද කපා ගත හැකිය. කොළ වර්ණ කීපයක් භාවිතකර මෙහි කොළ කපා ගන්න. සියලුම දේවල් නිර්මාණය කරගත් පසු කැන්වස් එක වර්ණ ගන්වා සකසා ගන්න. මෙහිදී ශේඩ් වන ආකාරයට මැදට ළා නිල් වර්ණයත්, වටේට ළා තැඹිලි වර්ණයත් එන ආකාරයට වර්ණ ගන්වා ගන්න. පසුව පින්තූරයේ පෙනෙන ආකාරයට මල්, පොහොට්ටු සහ කොළ ග්ලූ ගන් එක ආධාරයෙන් කැන්වස් එක මත ත්‍රිමාණ ආකාරයට සිටින සේ අලවා අවසන් කරගන්න.

 

-Tharunie