Saturday, April 27, 2024
Follow Us
හරි ලස්සන නත්තල් ගසක්

ඔයාගේ ජීවිතයේ තවත් එක් පරිච්ඡේදයක් තව දින කීපයකින් ඉවර වෙනවා. වසරක් ගෙවී තවත් වසරක් උදාවෙනවා. ඒ සමුගැනීම වෙන්නේ සීතල නත්තලත් එක්ක.

හරියටම තවත් දින හතකින් උදාවෙන මේ නත්තල පිළිගන්න මෙන්න මේ විදිහට පුළුවන්. බලන්නකො මේ හෝලිවළලු, නත්තල් ගස් ඔබේ නිවෙස නත්තල් සිරියෙන් බබළවන අයුරු.

මෙන්න ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :-

කොළ සහ රතු ග්ලිටර් ෆෝම්ෂීට්

මිලිමීටර් 10 සුදු භාග පබළුවක්

ග්ලූගන්

කතුරක්

අඩි කෝදුවක්

කාඩ්බෝඩ් කැබැල්ලක්

කෝඩ් නූල් කැබැල්ලක්

සාදන අයුරු :

මුලින්ම කාඩ්බෝඩ් කැබැල්ල ගෙන සෙන්ටිමීටර් 21ක විෂ්කම්භයක් ඇති රවුමක් ඇඳ කපාගන්න. එම රවුම ඇතුළෙම සෙන්ටිමීටර් 13ක රවුමක් ඇඳ එම රවුම කපා, ඉවත් කරගන්න. දැන් සිදුරක් සහිත සෙන්ටිමීටර් 4ක ප්‍රමාණයේ පටියක් සහිත රවුමක් ඉතිරි වේවී.  ඒ පිළිවෙළටම රතුපාට ග්ලිටර් ෆෝම්ෂීට් කැබැල්ලෙන් ද එසේ කපා සාදාගත් කාඩ්බෝඩ් රවුම වැසෙන සේ එයට උඩින් මෙම ෆෝම්ෂීට් රවුම එක උඩ සිටිනසේ අලවා ගන්න.

දැන් කොළපාට ග්ලිටර් ෆෝම්ෂීට් එකෙන් සෙන්ටිමීටර් 5×5 කොටු කපා කොන් දෙකක් එකට සිටින සේ තබා ග්ලූගන් ආධාරයෙන් රූපයේ පරිදි අලවා ගන්න. එයට උඩින් රතුපාට ග්ලිටර් ෆෝම්ෂීට් එකෙන් සෙන්ටිමීටර් 1×4 ප්‍රමාණයේ පටියක් කපා අලවාගන්න. මෙවැනි කොටස් 20-21ක් පමණ අවශ්‍ය වේ.

මෙම සාදාගත් කොටස් ඉහත අප සාදාගත් රතුපාට රවුම උඩ රූපයේ පරිදි පිළිවෙළට අලවාගන්න.

ඉන්පසු බෝ (Bow) එක සෑදීම සඳහා රතු ග්ලිටර් ෆෝම්ෂීට් එකෙන් රූපයේ දක්වා ඇති පතරොම් සලකුණු කොට ගෙන කපා නැවුම් දාර ඔස්සේ නවා සෙන්ටිමීටර් එකේ කොටස් එකට සිටින සේ ග්ලූගන් එකෙන් අලවාගන්න. ඊට උඩින් පබළුව අලවා පතරොම් පරිදි බෝ (Bow) එකේ පහළ කොටස කපා අලවා හැඩකරගන්න. නිර්මාණයේ ඉහළින් බෝ එක අලවාගන්න.

අවසාන ලෙස මෙය එල්ලා ගැනීම සඳහා ෆෝම්ෂීට් පටියක් හෝ කෝඩ් නූලක් යොදාගන්න.

නත්තල් සැරසිලි අතරට නත්තල් ගසට හිමිවන්නේ විශේෂ තැනක්. කිතුනු බැතිමතුන්ගේ නිවෙස්වල පමණක් නොව මේ කාලයේ පුංචි දරුවන් ඉන්න සෑම ගෙදරකම නත්තල් ගසක් සරසනු ලබනවා. ඔබේ පොඩිත්තාටත් මෙවැනි නත්තල් ගසක් හෝ නත්තල් ගස් කීපයක් සාදා දෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:

කම්බි සහිත කොළ පාට පයිප් ක්ලීනර් (Pipe cleaner )

ගෝල්ඩ් ග්ලිටර් ෆෝම් ෂීට්

කාඩ්බෝඩ් කැබැල්ලක්

ග්ලූගන්

කතුරක්

අඩි කෝදුවක්

සාදන අයුරු:

මුලින්ම කාඩ්බෝඩ් කැබැල්ල ගෙන එය අඟල් 12×8 සේ කපාගන්න. එම කොටස ගොට්ටක් සේ රෝල්කර පැතලි මතුපිටක තබා ගැනීමට හැකිවන සේ වැඩි කොටස් කපා ඉවත්කර ගන්න.

පයිප් ක්ලීනර් අඟල්  3 කොටස් කැබලිවලට කපා ගන්න. මෙම කොටස් දෙකට මැදින් නවාගන්න. එසේ නවාගත් පසු කැපුම් කොටස් දෙක එක්වන තැනට ග්ලූගන් ස්වල්පයක් තවරා අප සාදාගත් කාඩ්බෝඩ් ගොටුවේ පහළ සිට ඉහළට පිළිවෙළට වක්‍රාකාරව අලවා ගන්න. සියල්ල සම්පූර්ණයෙන් අලවාගත් පසු ගසේ කොළ ඉහළට එසවී පෙනෙන සේ තරමක් පයිප් ක්ලීනර් කොටස් ඉහළට සෙමින් නවාගන්න.

අවසාන ලෙස ගෝල්ඩ් ෆෝම්ෂීට් කැබැල්ලෙන් අඟල් 2ක ප්‍රමාණයේ පමණ තරුවක් ඇඳ කපා නත්තල් ගසේ ඉහළින් අලවා අලංකාර කරගන්න.

 

-Tharunie