Thursday, May 02, 2024
Follow Us
නිවෙසට සිරිකත කැන්දන පේපර් ක්විලීන් කුරුල්ලා

තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි. බලන්න අතු මත වසා සිටින මේ අපූරු කුරුලු ජෝඩුව දෙස... සොබාදහම මොනතරම් විස්මයජනක ද?

මේ අලංකාර දසුන කියන්නේ එයයි. නිවෙසේ විසිත්ත කාමරය මෙවැනි නිර්මාණයකින් අලංකාර කරගතහොත් කෙතරම් අගනේ ද? පේපර් ක්විලීන් කලාවෙන්  ඔබටත් පහසුවෙන් මෙය නිර්මාණය කරගත හැකියි.

*පේපර් ශේඩරයක්

*ලීන් ටූල් එක

*ගම්

*කතුරක්

*පැන්සලක්

*ටුවිසරයක්

*කහ, රතු, තැඹිලි, තද කොළ, ළා කොළ, නිල්, ක්‍රීම්, සුදු, කළු, තද රෝස, ළා රෝස වර්ණවලින් A4 කොළ ළා රෝස පැහැති A4 බෝඩ් එකක්

නිර්මාණයකර ගැනීෙම්දී පළමුව ළා රෝස පැහැති A4 බෝඩ් එක ගෙන එහි පැන්සලෙන් රූපයේ පෙන්වා ඇති පරිදි හැඩයට දළ සටහනක්  ඇඳ ගන්න.  ඉන්පසු රූපයේ පෙන්වා ඇති පරිදි අවශ්‍ය වර්ණවලින් පේපර් ශේඩරය ආධාරයෙන් A4 පටි කපා ගන්න.

මෙහිදී ගැළපෙන ආකාරයට ඔබට අවශ්‍ය වර්ණවල පටි ද භාවිත කළ හැකිය.

මුලින්ම ඇඳගත් දළ සටහනේ උඩ කොටස නිර්මාණය කිරීමට ඒ අදාළ තැන්වලට රූපයේ පෙනෙන පරිදි අවශ්‍ය හැඩයන්ගෙන් තද නිල් පාට A4 කොළ කපා අලවා ගන්න. ඉන්පසු තද කොළ A4 පටි ගෙන ලූස් රෝල් සාදා ඒ වටා ක්‍රීම් පාට පටියක් ද අලවා රූපයේ පෙනෙන ලෙස හැඩකර අලවා ගන්න. තද රෝස A4 පටි දික් අතට අවශ්‍ය හැඩයන්ගෙන් සකසා, කහ පාට හා තැඹිලි පාට පටි ද අවශ්‍ය හැඩයන්ගෙන් සකසා පෙනෙන පරිදි අදාළ තැන්වලට අලවා ගන්න.

ඊළඟට දළ සටහනේ පහළ කොටස නිර්මාණය කිරීමට පෙර අදාළ තැන්වලට රූපයේ පෙනෙන පරිදි අවශ්‍ය හැඩයන්ගෙන් තද නිල් පාට A4 කොළ කපා අලවා ගන්න. තද කොළ පාට A4 පටි ගෙන ලූස් රෝල් සාදා හැඩකර, ළා කොළ පටි ගෙන ලූස් රෝල් ද ඒ වටා ළා රෝස, කහ, තැඹිලි පාට පටි ඔතා අවශ්‍ය පරිදි අලවා ගන්න.

තද කොළ, කහ, තැඹිලි, තද රෝස පාටින් පටි ගෙන දික් අතට රූපයේ පරිදි අවශ්‍ය ආකාරයට අතින් හැඩකර අදාළ තැන්වලට අලවා ගන්න.

කුරුලු ජෝඩුව සෑදීමේදී මුලින්ම කුරුල්ලාගේ ඇෙඟ් හැඩයට රතු පාට A4 කොළයකින් ද, නිල් පාට කොළයකින් ද කොටස් 2ක් කපා ගන්න.

රතු පාට කොළයෙන් කපාගත් කොටස මත රූපයේ පෙනෙන පරිදි සුදු A4 පටි ගෙන අවශ්‍ය හැඩයන්ගෙන් සකසා අලවන්න. නිල් පාට කොටස මත ද සුදු සහ තද රෝස පාටින් පටි ගෙන අවශ්‍ය හැඩ සාදා ක්‍රීම් පාට පටි එකට තබා අලවා ගන්න. ඇස් සඳහා කළුපාට A4 පටි එකකින් ටයිට් රෝල් සාදාගන්න. හොට රතු පාට A4 තීරුවකින් සකසා ගන්න.

එක් කුරුල්ලෙක්ගේ පෙඳය සුදු පාට පටි කිහිපයක් එකට තබා දික් අතටත්, අනෙක් කුරුල්ලාගේ පෙඳය තද රෝස පටි කිහිපයක් එකට තබා දික් අතටත් අවශ්‍ය ලෙස හැඩකර පෙඳයක් ආකාරයට සකසා කුරුල්ලාගේ ඇඟ කොටස අලවා ගන්න. මෙලෙස සාදා ගත් කුරුලු

ජෝඩුව කලින් සකසා ගත් හාට් කොටස රූපයේ පරිදි ත්‍රිමාණ ආකාරයට අලවා ගන්න.

මෙහිදී හැඩතල සකසා අලවා ගැනීමට ටුවිසරයක් භාවිත කිරීමෙන් වඩාත් පහසු වේ.

මෙය නිර්මාණය කිරීමෙන් පසු රාමු කොට නිවෙසේ විසිත්ත කාමරයේ එල්ලන්න.

 

-Tharunie