Wednesday, April 24, 2024
Follow Us
තෙමඟුල හැඩකරන චාම් සුබ පැතුම් පතක්

බුදුන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සිදු වූ වෙසක් මාසය උදාවුණා. ඉතිං බෞද්ධයන් වූ ඔබට ගිය මාසය වගේම මේ මාසයත් හරිම සුවිශේෂියි.

ලස්සන වෙසක් සැරසිලිවලින් නිවෙස අලංකාර කරන්න ඔබ මේ වනවිටත් ලකලෑස්ති වෙනවා ඇති. ඒ වගේම තමයි ඔබේ ළඟම සිටින ඥාති, මිත්‍රාදීන් වෙනුවෙන් වෙසක් කාඩ්පත් තිළිණ කරන්නටත් ඔබ සූදානමින් ඇති. ඉතිං ඒ සඳහා වෙළෙඳපොළේ ඇති කාඩ්පත් මිලට ගෙන තිළිණ කරනවාට වඩා ඔබේ අතින් නිර්මාණය කළ කාඩ්පතක් තිළිණ කරන්නට ඇත්නම් ඒක වටිනවා නේද? බලන්න, අප මේ ලබාදෙන වෙසක් කාඩ්පත් ඔබේ අතිනුත් නිර්මාණය කළ හැකිද කියා.

A4 ෂයින් බෝඩ් එකක්

දම්, සුදු සහ කහ කොළ වර්ණ A4 කොළ

ගම්

කතුරක්

පේපර් ශේඩරයක්

ක්විලින් ටූල් එකක්

තැඹිලි වර්ණ භාග පබළු

පළමුව පේපර් ශේඩරය මඟින් අවශ්‍ය අඟල් 1/8 පටි කපා ගන්න. චෛත්‍යය නිර්මාණය කිරීම සඳහා 1/8 තනි පටිය බැගින් ගෙන ටයිට් රෝල් සාදා ගන්න. මෙම ටයිට් රෝල් අවශ්‍ය වන්නේ චෛත්‍යය වටේ නිර්මාණයකර ගැනීම සඳහායි. චෛත්‍ය ඇතුළත සඳහා 1/8 පටියක් ගෙන එය කොටස් හතරකට කපා ගන්න. කපාගත් එක් කොටස බැගින් ගෙන ස්කැරොල්ස් සාදා ගන්න. චෛත්‍යයේ උඩ කොටස සඳහා ලූස් කොයිල් සාදා දිග කොටු හැඩ සකසා ගන්න. ඉන්පසු උඩම කොටස සඳහාත් ලූස් කොයිල් සාදා ත්‍රිකෝණ හැඩය සාදාගන්න. ෂයින් A4 බෝඩ් එක ගෙන හරි මැදින් දෙකට නමා ගන්න. පසුව පින්තූරයේ පෙනෙන ආකාරයට චෛත්‍යය නිර්මාණය කරගන්න. එහි යටටද ස්කැරොල්ස් කිහිපයක් අලවා අලංකාර කරගන්න.

මෙහි මල් නිර්මාණය කිරීම සඳහා දම් වර්ණයේ සහ සුදු වර්ණයෙන් 1/8 පටි දෙකක් එකට අලවා ක්විලින් ටූල් එක ආධාරයෙන් ලූස් රෝල් සාදා ගන්න. සාදාගත් ලූස් රෝලෙහි හරි මැදින් දෙකට නමා මල් පෙත්ත හැඩකර ගන්න. පින්තූරයේ පෙනෙන පරිදි බෝඩ් එක මත මේ මල් පෙති අලවා මල නිර්මාණය කරගන්න. මලෙහි මැදට භාග පබළුවක් ද අලවා ගන්න. කොළ නිර්මාණය කිරීම සඳහා 1/8 කහ වර්ණ පටිය බැගින් ගෙන මාකීස් සාදාගන්න. මාකීස් තුනක් එකට අලවා කොළ නිර්මාණයකර රූපයේ පෙනෙන ආකාරයට අලවා ගන්න. ඔබ කැමැති පරිදි වෙසක් සුබ පැතුම ලියා හෝ මුද්‍රණයකර අලවා ගත හැකියි. පන්චර් එකක් මඟින් බෝඩර් එකෙහි අයින් කපා අලංකාර කරගන්න.

 

Tharunie