Friday, March 29, 2024
Follow Us
අලුත් අවුරුද්දට පුංචි දෝණිට මල් ගවුමක්

අලුත් අවුරුද්දේ වැඩිම සතුටක් විඳින්නේ පුංචි දුවා දරුවන්. ඒ නිසාම අවුරුද්දේ දූවා දරුවන්ගේ ඇඳුම් කල් තියාම මසා නිම කරන්න අම්මලට තියෙන්නේ ලොකු උනන්දුවක්.

මවුපියන්ට තම දියණිය මැණිකකි. ඒ මැණික ඔපදමා හැඩ කිරීමටත් ඒ හැඩ විඳීමටත් මාපියන් නිතර වෙහෙසෙනවා. පුංචි දියනිය අලංකාර විලාසිතාවලින් හැඩ කිරීමට මාපියන් නොගන්නා උත්සාහයක් නැත. මේ අලංකාර ගවුම් පොඩි විලාසිතා දියණිය හැඩකර ගන්නටයි. නිවෙසේදීම ඉතා පහසුවෙන් මසා නිමකළ හැකි මේ අලුත්ම මෝස්තරයේ අලංකාර ගවුම්පොඩි ඔබේ මැණික තවත් ලස්සන කරාවි.

උරහිස මිම්ම, පපු වට මිම්ම, ඉණ වට මිම්ම, සාය උස, අත දිග, අත වට, සාය උස, ඉදිරිපස කර ගැඹුර

උරහිස දෙකට බෙදන්න. පපු වට හතරට බෙදා අඟල් 1ක් එකතු කරන්න. ඉණ වට හතරට බෙදා අඟල් 3/4ක් එකතු කරන්න.

මෙම ගවුම සඳහා ලේස් කොට්න් වර්ගයේ 60 පළල රෙදි යාර 1 1/2ක් පමණ අවශ්‍ය වේ. රෙද්ද මැදින් දෙකට නවා ගන්න. ඉන්පසු ඉහළ කෙළවරෙන් හරහට ඉරක් ඇද A සිට B රේඛාව ඇඳ ගන්න. එහි උරහිස දෙකට බෙදා ලකුණු කරන්න. උරහිස බෙදා ලකුණුකළ ස්ථානයේ සිට අඟල් 1/2ක් පහත්කර නියම උරහිස (A, C) රේඛාව  ඇඳ ගන්න. C ලක්ෂයේ සිට පහළට නැවත උරහිස දෙකට ආ අගය පහළට ලකුණුකර D රේඛාව ඇඳ ගන්න.

C හා D රේඛා යා කරගන්න. අත් කට ඇඳ ගැනීම සඳහා D රේඛාව සිට පහළට නැවතත් උරහිස බෙදු අගයම පහළට ලකුණුකර E ලෙස නම් කරන්න. මේ ඉණ රේඛාව වේ.

ඉන්පසු D රේඛාව මත පපු වට හතරට බෙදා  අඟල් 1ක් අගය ලකුණු කරන්න.

E රේඛාව මත ඉණ වට  හතරට බෙදා 3/4 එන අගය ලකුණුකර අත්කට ඇඳ ගන්න.

කර පළල ලකුණු කිරීම සඳහා C හා D යා කළ රේඛාවේ හරි මැද සොයා අඟල් 1/2 ඇතුළට ලකුණුකර අත් කට ඇඳ ගන්න.

කර පළල ලකුණු කිරීම සඳහා උරහිස දෙකට බෙදා ආ අගය නැවත දෙකට බෙදා ගන්න.

එය A, B රේඛාව මත ලකුණුකර කර පළල ලකුණු කරන්න.  ඉදිරිපස කර ගැඹුර ලකුණුකර කර ඇඳ ගන්න. පිටුපස කර ගැඹුර අඟල් 1ක් ගන්න.

රෙද්ද දෙකට නවා නැම්මේ සිට අඟල් 2ක් පමණ ඉදිරියට ලකුණු කරන්න. A,B රේඛාව මත මිමි ලකුණු කරන්න. A, B රේඛාවේ ඉහළ සිට පහළට අඟල් 3ක් පමණ පහත්කර හරහට රේඛාවක් ඇඳගන්න. එම රේඛාව C වේ. C රේඛාව මත උරහිස දෙකට බෙදා අගය ලකුණු කරන්න.

ඉන්පසු A,B රේඛාවේ සම්පූර්ණ අත දිග ලකුණුකර රේඛාවක් අඳින්න. එය E රේඛාව වේ.

ඉන්පසු E රේඛාව මත අත වට දෙකට බෙදා එන අගය ලකුණු කරන්න. මැහුම් වාසි සඳහා පහළින් අඟල් 1ක් පමණ පහත්කර ඇඳගන්න.

A,C,E රේඛා යාකර අත් හැඩය ඇඳගන්න.

A,C රේඛාව 4ට බෙදා ගන්න. ඉහළින් අඟල් 1/2 පිටට හා පහළින් අඟල් 1/2 ඇතුළට ලකුණුකර අත් කට හැඩය ඇදගන්න. දැන් ඉදිරියට තැබූ අඟල් 2 සමඟ අත හැඩය කපා ගන්න.

අපි කපාගත් ඉදිරිපස පළුව සහ පිටුපස පළුව නැමීමට නැමූ රෙද්ද මත තබා කර හැඩය ඇඳ ගන්න. ඉන්පසු කර වටේට අඟල් 3ක් ලකුණුකර කොලරය ඇඳගන්න. ඉඳිරිපස පමණක් අඟල් 1ක් පමණ උස්සා රවුම්කර කොලර් එක හැඩකර ගන්න.

ඉදිරිපස සහ පිටුපස සඳහා ඉණවට දෙකට බෙදා ආ අගයට සමානව පළල, උස අවශ්‍ය පරිදි ගත් කොටුවක් ආකාරයට සකසා ගත් රෙදි කොටස් 2ක් ගන්න.

උරහිස් මූට්ටුකර කොලර් එක සම්බන්ධ කරගන්න. ඉන්පසු අත රැළිකර මසා ගන්න. සාය කොටස් දෙක රැලිකර කඳ කොටස්වලට සම්බන්ධ කරගන්න. ඉන්පසු අංශ මූට්ටුකර යට වාටිය මසාගන්න.

.උපදෙස් - මැහුම් උපදේශිකා සිතාරා නවරත්න