Wednesday, April 24, 2024
Follow Us
කැවිලි මේසයට අපූරු සැරසිල්ලක්

සිංහල අලුත් අවුරුදු කාලේ කියන්නෙම අපේ කාන්තාව අතිශයින් කාර්යබහුල වෙන කාලයක්. අලුත් ඇඳුම් ගන්න එහෙමත් නැත්නම් මහන්න, කැවිලි පෙවිලි හදන්න, ඒ විතරක් ද නිවෙස අලුත්වැඩියා කරලා ලස්සනට පිරිසුදුවට තියාගන්නත් එපැයි.

මේ දේවල් සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දක දී කෙරෙන දේවල් වුණත් මේ එළැඹිලා තියෙන්නේ බඩුමිල අහස උසට නැඟි කාලයක්. අත්‍යවශ්‍යම දෙයක් හැරෙන්න අවශ්‍ය දෙයක්වත් කරගත නොහැකි කාලයක්. ඒ නිසා නිවෙස හැඩ කරගන්න අලුතින් දේවල් මිල දී ගන්න නම් හිතන්නවත් බැහැ. එහෙම කියලා අලුත් අවුරුද්දේ නිවෙසට වෙනසක් නොකර කොහොම ද? අලුත් අවුරුද්දේ කැවිලි මේසය හැඩ කරගන්න ඔබේ අතින්ම කරගන්න හැකි අත්කමක් ගැනයි අද ඔබට කියන්නේ. ඔබත් මේ අත්කම නිර්මාණයකර අලුත් අවුරුද්දේ කැවිලි මේසයට නව පෙනුමක් එක්කර ගන්න.

සුදු, දුඹුරු, කහ සහ කොළ ෆෝම් ෂීට්

ක්‍රීම් වර්ණයෙන් අඟල් 1/2 රිබන්

කහ වර්ණයෙන් භාග පබළු

ග්ලූගන් එකක්

කතුරක්

අඟල් 1/2 උස විෂ්කම්භය

අඟල් 8 සහිත විෂ්කම්භය සහිත ලී රාමුවක් (රිජිෆෝම් ද භාවිත කළ හැකියි)

විෂ්කම්භය අඟල් 10 යුත් ඝනකම කාඩ්බෝඩ් රාමුවක්

ක්‍රීම් වර්ණ ෆැබ්රික් තීන්ත පින්සලක්

අඟල් 1ක් උස 2 1/2  පළල රිජිෆෝම් කොටසක්

පළමුව අඟල් 1/2 උස ලී රාමුව ගෙන එහි මතුපිට ක්‍රීම් වර්ණ තීන්ත ආලේපකර වියළා ගන්න. පසුව රාමුවෙහි වටේට පෙනෙන පරිදි ක්‍රීම් වර්ණ අඟල් 1/2 රිබන් ග්ලූගන් එක ආධාරයෙන් අලවා ගන්න. රාමුවෙහි මතුපිට වටේට භාග පබළු ද පෙන්වා ඇති පරිදි අලවා ගන්න.

නැවත අනෙක් කාඩ්බෝඩ් රවුම ගෙන අඟල් 1/2 සිටින සේ මැද කොටස කපා ඉවත්කර ගන්න. පසුව උස අඟල් 1 × පළල අඟල් 2 1/2 × ඝනකම අඟල් 1 රිජිෆෝම් කොටස ගෙන එහි මැද සිදුරුකර රවුම තුළට දමා අලවා ගන්න. අලවාගත් පසු පින්තූරයේ පෙනෙන ආකාරයට වර්ණ ගැන්වූ ලී රාමුවෙහි හරි මැදින් සිටින සේ තබා අලවා ගන්න.

මෙම මල් නිර්මාණය කිරීම සඳහා ඔබට අවශ්‍ය නම් ඩයි කට්ස් භාවිත කළ හැකියි. එසේ නැතිනම් පහත දී ඇති පතරොම භාවිතකර එක මලකට පෙති 3 බැඟින් මල් පෙති 24ක් කහ වර්ණයෙන් කපා ගන්න. (මල් 8ක් සඳහා) මලේ මැඳ කොටස සඳහා සෙන්ටි මීටර් 1ක් පළල සෙන්ටිමීටර් 12ක්  දිග පටි 8ක් දුඹුරු වර්ණයෙන් කපා ගන්න. කපාගත් පටිවල සිග්සැග් ආකාරයට සිටින සේ එක පැත්තක් කපා ගන්න. කපාගත් පසු එය රෝල්කර අලවා ගන්න. පසුව විදුලි ස්ත්‍රික්කයක් රත්කර එයට තබා රත්කර අතින් හැඩකර ගන්න. පසුව මල් පෙති තුනක් ගෙන එක උඩ එක තබා අලවා මැදට සාදාගත් දුඹුරු වර්ණ කොටස තබා අලවා ගන්න. මේ අකාරයට මල් සියල්ල සකසා ගන්න.

පහත දී ඇති පතරොම භාවිතකර මල් 8ක් සඳහා ලොකු පෙති 8ක් ද, පොඩි පෙති 10ක් ද කපා ගන්න. සෑම පෙත්තකම මැද කහ වර්ණ පැස්ටල් මඟින් වර්ණ ගන්වා ගන්න. පසුව විදුලි ස්ත්‍රික්කය මඟින් රත්කර, මල් පෙති අතින් හැඩ ගන්වා ගන්න. පසුව ලොකු පෙත්ත උඩට, පොඩි පෙත්ත තබා අලවා මැදට කහ වර්ණ භාග පබළුවක් ද අලවා ගන්න.

කලින් සකසාගත් රවුම් කොටසෙහි මැදට පින්තූරයේ පෙන්වා ඇති ආකාරයට ඉදිරිපසට සහ පිටුපසට මල් අලවා කොළ ද අවශ්‍ය පරිදි අලවා සකසා ගන්න. සුදු වර්ණ මල් ද පෙනෙන පරිදි අලවා ගන්න. උඩට සම්බන්ධකර ඇති රවුමෙහි පෙන්වා ඇති ආකාරයට New Year 2023 යන කොටස බෝඩ් කොටසක ප්‍රින්ට්කර හෝ අතින් ලියා නූල් අධාරයෙන් සම්බන්ධකර ගන්න. පසුව පින්තූරයේ පෙනෙන පරිදි එතැනට ද මල් හා කොළ අලවා ලස්සන කරගන්න.

මෙහි පෙනෙන ආකාරයට පැත්තකින් බෝතල් මූඩියක් හෝ එවැනි යම් දෙයක් භාවිතකර එහි වටේට අඟලක් පළල රිබන්වලින් බෝ එකක් සකසා ලී රවුම මත තබා අලවා ගන්න. පසුව එහි උඩට දැල්වීම සඳහා මැටි පහනක් තබා ගන්න. පසුව ලී රාමුව යට වටේට බුලත් කොළ තබා ඔබගේ අලුත් අවුරුදු කෑම මේසයට නව පෙනුමක් එක්කර ගන්න.

උපදෙස්

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බාහිර උපදේශිකා ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී චූලනි ජයසිංහ