Friday, March 29, 2024
Follow Us
හැඩැති යුවතියකට ඕෆ් ෂෝල්ඩර් ටයිට් ගවුමක්

ලස්සන ලස්සන ගවුම් විලාසිතා අඳින්නයි දැන් කාලයේ ළඳුන් කැමැත්තක් දක්වන්නේ. ඒ නිසාම මේ දිනවල සාප්පුවල මෙන්ම මඟ දෙපස ද විවිධ විලාසිතාවන්ට මැසූ ගවුම් සුලබ දසුනකි.

මේවායේ මිලත් බොහොම ඉහළයි. ඒත් ඔබ මැහුමට දක්ෂ ළඳක් නම් ඔබට ගැළපෙන ගවුම් විලාසිතා ඔබේම අතින් මසාගන්නට හැකියි. ඒ සඳහා අපෙන් ලැබෙන අත්වැලේ එක් පියවරක් තමයි මේ. අද අපි තිළිණ කරන්නේ ඕෆ් ෂෝල්ඩර් විලාසිතාවට මැසූ ලස්සන ටයිට් ගවුමක්. රෝස පැහැති මුද්‍රිත රෙද්දකින් මසා තිබුණත් මේ ගවුම ඔබට කැමැති වර්ණයේ රෙද්දකින් මසාගත හැකියි.

අවශ්‍ය මිමි

උරහිස, පපු වට, ඉණ දක්වා උස, ඉණ වට උකුල දක්වා උස, උකුලවට, ගවුමේ උස,

මිමි සැකසීම

උරහිස දෙකට බෙදා, පපුව හතරට බෙදා අඟලක් එකතු කරන්න. ඉණ දක්වා උසට අඟල් 1/2ක් එකතු කරන්න. ඉණ වට හතරෙන් බෙදා අඟලක් එකතු කරන්න. උකුල දක්වා උසට අඟල් 1/2ක් එකතුකර උකුල වට හතරෙන් බෙදා අඟලක් එකතුකර, ගවුමේ උසට අඟල් 1/2ක් එකතු කරන්න. 

මෙම ගවුම සඳහා විනිවිද පෙනෙන ඝනකම් රෙදි වර්ගයකින් 60 පළල යාර 2ක් අවශ්‍ය වේ. රෙද්ද හරි මැදින් දෙකට නමා එහි නැම්ම මුඳුනේ සිට හරහට උරහිස දෙකට බෙදා A සිට B දක්වා යා කර උරහිස ඇද ගන්න.

A සිට C දක්වා අත අඟල් 7 1/2ක් පහත්කර C සිට D දක්වා පපුවට හතරෙන් බෙදා අඟලක් එකතුකර අත් කට හැඩට ඇඳගන්න.

කර පළලේ සිට ඉණ දක්වා උස, උකුල දක්වා උස, ගවුමේ උස ලකුණු කරන්න. ඉණ රේඛාවේ ඉණ හතරට බෙදා අඟල් එකක් එකතු කරන්න. උකුල රේඛාවේ උකුල හතරට බෙදා අඟල් එකක් එකතුකර වාටිය රේඛාවට උකුල ලම්භකවන ලෙස යාකරන්න. වාටිය රේඛාවෙහි අඟල් එක ඇතුළුකර උකුල දක්වා යා කරමින් ටයිට් කර ගන්න.

මෙලෙස ඇඳගත් ඉදිරිපස කොටස කපා වෙන්කර 2 රූප සටහනේ පෙනෙන ආකාරයට කර ගැඹුරේ සිට කිහිලිකට දක්වා වක්‍රවන ලෙස යා කරමින් එක් පැත්තක උරහිස කපා ඉවත් කරන්න.

පසුපස කොටස දක්වා ඇති 3 වැනි රූප සටහනේ ආකරයට බල වාටියේ සිට අඟල් එකක් ඇතුළුකර එහි හැඩය ඇද කපා වෙන්කර ගන්න. පසුපසෙහි ද ඉදිරිපස මෙන්ම එම පැත්තේ උරහිස කපා ඉවත් කළ යුතුය.

කර වටේට ඇති ෆ්‍රිල් කොටස සඳහා ෆ්ලෙයාඩ් සාය රෙද්ද නමන ආකාරයටම නමා ෆ්‍රිල් එක සඳහා අඟල් 6ක් උස ගෙන වක්‍රවන ලෙස ඇඳ කපා ගන්න.

මැසීමේදී

පළමුව එක් පැත්තක ඇති උරහිස අල්ලා අංශය ඉදිරිපස සහ පසුපස එක් කරමින් මසා ගන්න. කර වටේට ඇල්ලීම සඳහා කපාගත් ෆ්‍රිල් කොටසේ යට වාටිය මසා පසුව රූපයේ පෙනෙන ආකාරයට කර වටේට තබා මසා ගන්න. අවශ්‍ය නම් පසුපස මැදට කෙටි විවරයක් තබා ගැනීම කළ හැකියි.

උපදෙස් -

ප්‍රවීණ මැහුම් හා රූපලාවණ්‍ය උපදේශිකා

කාන්ති බණ්ඩාරනායක