Friday, April 19, 2024
Follow Us
වූල් ගෙතුමෙන් හුරුබුහුටි ෆෝන් කවරයක්

හැමදේම මිල ගණන් මේ කාලේ ඔබේ දෑතේ නිර්මාණශීලි හැකියාවෙන් ප්‍රයෝජනයක් ගත හැකිනම් කෙතරම් අගනේ ද. රිබන් එම්බ්‍රොයිඩරි, පැච්වර්ක්, ෆැබිරික් පේන්ටින් වැනි කලාවන් අතර ගෙතුම් කලාවට ද අපේ කාන්තාවන් ප්‍රියතාවයක් දක්වන්නේ එයින්  නිර්මාණත්මක ගෙතුමක් ලැබෙන අතරම සිත භාවනාවකට යොමු වුණා සේ දැනෙන හැඟීමටයි.

 ඉතින් ගෙතුමට කැමැති ඔබට, හුරුබුහුටි ෆෝන් කවරයක් ගොතා නිම කරගන්නා ආකාරය අද තරුණී වෙතින් ගෙන එන්න හිතුවා. ගෙතුම් කලාවට නවකයකුට වුව ද ඉතාමත් පහසුවෙන් මෙය ගෙතිය හැකි අතර පුරුදු වූ පසුව ස්වයං රැකියාවක් ලෙසින් වුව ද පවත්වාගෙන ගිය හැකියි.

අවශ්‍ය දේවල්

මෙරුන් පාට වූල්

සුදු පාට වූල්

බොත්තම් 1යි

මිලි මීටර් 3.5ක ගෙතුම් කටුවක්

නිර්මාණය කරගන්නා ආකාරය

පළමුව 1 රූපයේ පරිදි මෙරුන් පැහැ වූල් යොදාගෙන අඟල් 4 1/2ක් දිග දම්වැල ගොතා ගන්න. ඉන්පසු දෙවැනි පේළියේ සිට තනිපට පිරවිල්ලෙන් අඟල් 3.5ක් දිගට පේළි 12ක් පමණ ගොතා ගන්න.

දැන් රටාවට අනුව 2 රූපය පරිදි නූල සුදු පාටට මාරුකර දෙපට පිරවිල්ලෙන් පේළියක් ගොතන්න. නැවත මෙරුන් පාටින් දෙපට පිරවිල්ලෙන් පේළියක් ගොතා සුදු පාටින් ද දෙපට පිරවිල්ලෙන් පේළියක් ගොතන්න.

ඉන්පසු ඉතිරි කොටස මෙරුන් පාටින් තනිපට පිරවිල්ලෙන් අඟල් 9.5ක් දිගට ගොතා ගන්න.

දැන් රූපයේ පෙනෙන පරිදි සම්පූර්ණ ගෙතුම දෙකට නවන්න. දැන් එහි දෙපස පැන්නුම් ගෙතුමෙන් මෙර‍න් පාටින් ගොතා මූට්ටු කරගන්න.

දැන් 3 රූපයේ පරිදි ෆෝන් කවරයේ කට සුදු පැහැ නූලෙන් තනිපට පිරවුමෙන් පේළියක් ගොතා ගන්න. 4 රූපයේ දැක්වෙන පරිදි, දෙවැනි පේලියේදී කවරයේ පිටුපසින් මැද අඟල් 1/2ක් ඉඩ ඉතිරිවනසේ දම්වැල් 20ක් ගොතා බොත්තම් කාදුව සාදා ගන්න.

5 රූපයේ පෙන්වා ඇති ආකාරයට දෙවැනි පේළිය අවසානයේ දම්වැල් 35ක් ගොතා කවරයේ කටට මූට්ටුකර පටිය සාදා ගන්න.

අවසානයේ නිර්මාණය අවසන්කර ගැනීමට 6 රූපයේ පරිදි බොත්තම් කාදුවේ දිගට සරිලන පරිදි බොත්තම අල්ලා හැඩවැඩ කරගන්න.

උපදෙස් -

වූල් ගෙතුම් ශිල්පිනී මධූෂා වික්‍රමනාරායන

විදුමිණි දිසාකරුණා 

Taruni