Thursday, April 25, 2024
Follow Us
නිවෙස හැඩ කරන නත්තල් සීනු

අසිරිමත් නත්තල උදා වෙන්නට ඇත්තේ තව දින කිහිපයක් පමණයි. ඒ වෙනුවෙන් ඔබ දැනටමත් නිවෙස සූදානම් කරනවා ඇති. ඉතිං නත්තල් සැරසිලිවලින් නිවෙස හැඩ කරන ඔබට අඩු වියදමකින් හදාගන්න පහසු පුංචි බිත්ති සැරසිල්ලක් ගැනයි අද කියන්න යන්නේ. බිත්ති සැරසිල්ලකට වගේම දොර සැරසිල්ලක් විදිහටත් මේ නත්තල් සීනුව යොදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

කාඩ්බෝඩ් කොටසක්

ගෝණි රෙදි

රතු හා කොළ වර්ණ

ෆෝම් ෂීට්

නත්තල සඳහා

ගැළපෙන රිබන්

ග්ලූ ගන් එක

කතුරක්

 

නිර්මාණය කර ගන්නා ආකාරය

පළමුව පහත දී ඇති දිග පළල අනුව සීනුවේ හැඩය බෝඩ් එකෙන් කපාගන්න. එයම ගෝණි රෙද්දෙන් ද කපා ගන්න. ගෝණි රෙද්දෙන් කපා ගැනීමේදී වටෙන්ම අඟලක පමණ ප්‍රමාණයක් තබා කපාගන්න. පසුව වැඩිපුර තබන ලද කොටසෙහි කට් මාර්ක් යොදමින් බෝඩ් එකෙන් කපාගත් සීනු හැඩය මතින් තබා අලවා ගන්න. නැවතත් කට් මාර්ක් දැමූ කොටස් සියල්ල කණපිට පැත්තට තබා හොඳින් අලවා ගන්න. සීනුවෙහි උඩට එල්ලා ගැනීම සඳහා රිබන් හෝ කෝඩ් නූල් කොටසක් ද අලවා ගන්න.

පසුව පහත දී ඇති පොයින්සෙටියා මලේ පතරොම් සකස් කර ෆෝම් ෂීට් මත ඇඳ කපාගන්න. කොළ ටික ද කපාගන්න. පසුව මල් පෙති එක උඩ එක තබා අලවා එහි මැදට පබළුවක් ද අලවා මල් ටික සකසා ගන්න. පින්තූරයේ පෙන්වා ඇති ආකාරයට ග්ලූ ගන් එක අාධාරයෙන් වෙළෙඳ පොළෙන් ගත් දේවල් ද එකතු කර ගනිමින් මල් ටික අලවා ගන්න.

වර්ණ දෙකෙන් රිබන්වලින් බෝ ටික සාදා එක උඩ එක තබා එයට ද වෙළෙඳ පොළෙන් ගත් දේවල් උපයෝගි කර රූපයේ පෙනෙන පරිදි අලවාගන්න. සීනුවේ හරි මැදින් රිබන් කොටසක් අලවාගන්න. අවසානයේ කණපිට පැත්තට ද තවත් සීනු හැඩයක් කපා අලවා නිමකර ගන්න.

 

උපදෙස් - මහරගම ප්‍රාදේශීය ලේකම්

කාර්යාලයේ බාහිර උපදේශිකා

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

THarunie