Friday, April 19, 2024
Follow Us
පරණ සපත්තුවට සාත්තු කරන හරි අපූරු වීදි දිගේ

පොඩි දරුවන්ගේ පාසල් සපත්තු ජෝඩුවක් වුණත් දැන් රුපියල් හාරදාහටත් වැඩියි. ලොකු අයගේ සපත්තු මිලත් අහසා උසට ඉහළ ගිහින්. ඉතින් කවුරුත් පාහේ මේ කාලේ සිතන්නේ අලුතින් ගන්නවාට වඩා සපත්තු, සෙරෙප්පු අලුත්වැඩියා කරගන්නයි. අඩියක් ගහගන්න නැතිනම් කැඩුණු, ඉරුණු තැන් මසා නිම කරගෙන කාර්යාලයට, සාප්පු සවාරියට එහෙමත් පලඳින්න දැන් බොහෝ දෙනෙක් දෙවරක් සිතන්නේ නම් නැහැ.

අද අපි කතා කරන්න සූදානම් වෙන්නෙ අපේ රටේ හතර අතින් හැමදෙනාම සපත්තු අලුත් කරගන්නට පිවිසෙන කොළඹ අපූරු වීදිය ගැන.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයට කෙළින්ම දක්නට ලැබෙන මේ වීදිය හඳුන්වන්නේ මල්වත්ත වීදිය කියලයි.

මේ වීදියට පිවිසෙන ඔබට ඕනෑම ආකාරයේ සපත්තු ජෝඩුවක් අලුත්ම ආකාරයට පිළිසකර කරගන්න පුළුවන් වගේම ටික කලක් පාවිච්චි කළ අලුත්ම පෙනුමැති පාසල් සපත්තු,ක්‍රීඩා සපත්තු වගේම කාර්යාලයට භාවිත කරන සපත්තු මෙන්ම පිටරටින් ගෙන්වන සපත්තුත් අඩුම මිලට සන්තක කරගන්න පුළුවන්.

මේ වීදියේ තැන තැන සිටින පළපුරුදු සපත්තු පිළිසකර කරන්නන්ගේ කාරුණික සේවයෙන් ඔබේ සපත්තු ජෝඩුව ඉතා ඉක්මනින් පිළිසකර කරගන්නත් මේ වීදිය කදිමයි.

 

කපිල දේශප්‍රිය එවැනි සේවය ඔබට සපයන අයෙක්. අවුරුදු දහයකට කිට්ටු කාලයක් තිස්සේ කපිල මල්වත්ත පාරේමයි. එදා මෙදා තුර සපත්තු මහ ගන්න එන දෙනෝදාහකගේ මුවට සිනහව කැන්දූ ඔහු අද තත්ත්වය ගැන කතා කරන්නේ නලළ රැලි නංවාගෙන.

මේ පාරට දවසට සපත්තු කූට්ටම් දාස් ගාණක් ගේනවා හදන්න.දැන් වෙනදා තරම් සපත්තු, සෙරෙප්පු වෙළෙඳපොළේ නැහැ. පිටරටින් ගෙන්වන්නෙත් නැතිම තරම්. ඒ තත්ත්වයමයි පාවහන් අමතර කොටස් වලටත් අත්වෙලා තියෙන්නේ. කලින්ට වඩා ගම් වලට, නූල් වලට වියදම් වෙනවා. ඒත් ඒ පාඩුව පුළුවන් තරම් අඩු කරගෙන සහන මිලට සපත්තු, සෙරෙප්පු මසා නිමකර දීමයි අපේ අරමුණ. හුඟ කලක ඉඳන් කොළඹටම සපත්තු සෙරෙප්පු මහගන්න එන පිරිසකුත් ඉන්නවා. පවුලේ හැමෝගෙම පරණ සපත්තු, සෙරෙප්පු එකට එකතු කරගෙන කොළඹ අරන් එන පිරිසකුත් ඉන්නවා.

මේ දවස්වල වැඩිපුර පරණ සපත්තු අලුත්වැඩියා කරගන්න ගේනවා. ලේඩීස් ෂූස් වල හීල් කොටස තමයි වැඩිපුර ඩැමේජ් වෙන්නේ. ඒ කොටස අලුතෙන් සවි කළාම නැවත අලුත් එකක් වගේ වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නොකළොත් අධික මිල ගණන් වන ඒ පාවහන් පැත්තකට වීසි කරන්න වෙනවා. මේ කාලේ එහෙම අමාරුයි.

ළමා සපත්තු අඩි ගහන්නත් රුපියල් 1500ක් විතර වැය වෙනවා. ඒ වුණත් අලුතෙන් ගන්නවාට වඩා අඩු මුදලකින් අලුත් සපත්තුවල නිමාවටම පරණ සපත්තු අඩි ගහලා, මහලා, අඩිය අලවලා, පොලිෂ් කරලා දෙන්නත් අපි කටයුතු කරනවා. ඒක වුණත් මේ කාලේ ලොකු දෙයක්.

ඒත් අපි තදින් ආර්ථික අපහසුතා ඇති අයට තවදුරටත් හැකි උපරිම අඩු මුදලට සපත්තු අලුත්වැඩියා කර දෙනවා. ඒ කටයුතු පැය බාගයක් ඇතුළත කර දෙන්නත් අපිට පුළුවන්.

ඕනෑම අමතර කොටසක් අපි ළඟ තියෙනවා.

චන්ද්‍රදාස නානායක්කාර අව්කූටකේ ලහිලහියේ වැඩ. එතැන තවත් පාරිභෝගිකයන් කිහිප දෙනෙක් මඟබලා ඉන්නේ කැඩුණු සපත්තුත් දෑත්වල එල්ලාගෙන. ඒ අතරයි මේ කතාව දිග හැරෙන්නේ.

මං දන්න කෝටිපති මහත්මයෙක් ඉන්නවා. එයා අඩිය මතු වෙනකල් සපත්තු පාවිච්චි කරනවා. ඉන්පස්සෙත් අලුත්වැඩියා කරනවා. එයා දරුවන්ට පුරුදු කරලා තියෙන්නේත් ඒ විදියමයි. මං දවසක් ඒ ගැන ඇහැව්වා.

'අපි ළමයින්ට පොඩි කාලේ ඉඳන් අරපිරිමැස්ම පුරුදු කරන්න ඕනි' ඒ මහත්තය කියන්නෙ එහෙමයි.ඒ කතාව ඇත්ත. අරපිරිමැස්ම කවදත් වටිනවා.සපත්තු අලුත්වැඩියාව විතරක් නෙවෙයි, කොළඹින් කොටස් අරන් ගිහින් නිවෙසේදී ඒවා එකලස් කරන්නත් ගෘහණියට පුළුවන්. එවැනි දිරිය කතක් අපට මුණගැසුණේ මල්වත්ත පාර හරහා පැමිණ මයුර පෙදෙසට පිවිසි විටදීයි.

ඇය ලීනා ඉනක්ෂි. නිට්ටඹුවේ සිටයි ඇය කොළඹ ඇවිත් තිබුණේ. තවත් කාන්තාවන්ට පවුලේ ආර්ථිකයට සවියක් වන්නට පාවහන් නිෂ්පාදනය කිරීමේ කටයුත්තේ නිරත විය හැකි බවයි ඇය පවසන්නේ. කලෙක පටන් කොළඹින් පාවහන් නිෂ්පාදන අමුද්‍රව්‍ය රැගෙන ගොස් ඒවා එකලස් කොට අලෙවි කිරීමයි ඉනක්ෂි කරන්නේ.

මයුර පාරේ ඇරඹුමෙහිම පාවහන් නිෂ්පාදනාගාරයකි. පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන පොදුසේවා මධ්‍යස්ථානය විදිහටයි මෙතැන නම් කරලා තියෙන්නේ. එල්. පී. එස්. කරුණාදාස එහි හිමිකරුයි. ඔහු කාර්මික සංවර්ධන මණ්ඩලයේ සම් භාණ්ඩ නිෂ්පාදන අංශයේ නිර්මාතෘවරයායි. එහි ප්‍රථම අධ්‍යක්ෂ ධුරය දැරුවේත් කරුණාදාස මහතායි. මේ සියලුදෙනාටම ඔහුගේ මඟ පෙන්වීමයි.

 

අපේ රටේ ව්‍යවසායකයන් හිඟයි. 4%ක් වත් නැති තරම්. ඒත් පහසුවෙන් කාන්තාවන්ට ඒ අඩුව පුරවන්න පුළුවන්. කැමැති කෙනකුට ඊට මඟ පෙන්වන්නත් අපිට පුළුවන්. මේ කාලේ සපත්තු අලුත්වැඩියා කිරීමත් වියදම් අධික කටයුත්තක්. ඊට සහනයක් විදියට අපිට දුෂ්කර ප්‍රදේශවල පාසල් යන වයසේ ළමුන් සිටින අයට සපත්තු අලුත්වැඩියා කිරීම පිළිබඳ නොමිලයේ පුහුණුවක් දීමටත් අපි කැමැතියි. එවිට එක පන්තියක සියලු කැඩුණු පාවහන් ඒ පන්තියේ දරුවකුගේ භාරකරුවකු ලවාම අඩු වියදමකින් අලුත්වැඩියා කරගත හැකියි. දැන් පවතින ආර්ථික තත්ත්වය අනුව එය සහනයක් වෙයි.

සපත්තු නිෂ්පාදනයට අමුද්‍රව්‍ය කපා සකස් කරන යන්ත්‍ර මිලෙන් ඉතා අධිකයි. ඒ ගැටලුවට පිළියමක් විදියට අපි රුපියල් 10ක් තරම් අඩු ගාස්තු යටතේ ඊට අවශ්‍ය කොටස් කපා සකස් කර දෙනවා. ඒ කටයුතු ඉටු කරවා ගැනීමට හුඟ දෙනකු මෙහි එනවා. ගෘහණියන්ට කාන්තා සමිති ආදී සමුපකාර ක්‍රම හරහා නිසි පුහුණුවක් ද සහිතව එවැනි කර්මාන්ත වලට පිවිසිය හැකියි.

මේ පරණ සපත්තු අලුත්වැඩියාවෙන් කාන්තා ඔබට දිරියක් වීමේ අදහසින් අප කළ කොළඹ චාරිකාවේදී මුණගැසුණු තවත් ඉතා වැදගත් අයෙක් වන කරුණාදාස මහතාගෙන් මෙරටට ගත හැකි තවත් ප්‍රයෝජනයක්.

ඒ අනුව අද පාවහන් මිල අධික වීමට පිළියම් සොයා යෙදුණු චාරිකාව නිම වෙනවා.මේ වීදියේ සැරිසරමින් ඔබටත් තවත් දේ එක් කරගත හැකියි.

Tharunie