Friday, April 19, 2024
Follow Us
වෙනස් කළොත් සල්ලි හම්බ කරන්න ක්‍රම ඕනේ තරම්

අපේ ගැමි වහරේ අපූරු කියමනක් තිබෙනවා. "අතපය හෙල්ලුවොත් තමයි කට හොල්ලන්න පුළුවන් වෙන්නේ" කියලා. අපට ටිකක් මහන්සි වුණොත් ඇත්තටම හොඳට මුදල් සොයන්න පුළුවන්. උදාහරණයකට අපේ රටේ එළවළු පලතුරු වගාවෙන් කොයිතරම් ප්‍රමාණයක් අපතේ යනවා ද? මේ එළවළු අපතේ යන ප්‍රමාණය ප්‍රයෝජනයට ගත්තොත් ලොකු මුදලක් සොයන්න අපට පුළුවන්. හැබැයි එහෙම හිතන අය බොහොම අඩුයි. කොස් වාරයට ගස් යට කොස් කුණු වේවි වැටිලා යනවා. අඹ වාරයට අඹ ඕනේ තරම්, කහ වගා අස්වැන්න ගන්න කාලයට කහ මිල හරිම අඩුයි.

මේ වගේ අස්වැන්න වැඩි කාලවලදි අපට ලැබෙන දෙයක් වියළා පසුව ප්‍රයෝජනයට ගන්න පුළුවන් නම් ඒක ලොකු ඉතිරියක්. ඒ වගේම එයින් ලොකු මුදලක් සොයන්නත් පුළුවන්.

මේ වගේ Thinking pattern එක පොඩ්ඩක් වෙනස් කරලා මුදල් සොයන්න පුළුවන් ක්‍රමයක් ඔබට පෙන්වන්න අපි හිතුවා. පොඩ්ඩක් සිතන්න.... ඔබ ඉන්න ප්‍රදේශයේ බහුලවම තිබෙන එළවළු, පලතුරු, අල වර්ග ගැන. සමහර විට ඔබ නාගරික ප්‍රදේශය පදිංචි වෙලා ඉන්නත් පුළුවන්. මේ කොහේ පදිංචි වෙලා හිටියත් අපේ රටේ වැවෙන එළවළු පලතුරු වර්ග වගා කරලා නැති වුණත් ඒ එළවළු පලතුරු වර්ගවල ඵලදාව ලැබෙන වාරයට මිල අඩුයි. එවැනි කාලයට අපට තිබෙන එළවළු, පලතුරු වර්ග වියලා කල්තබා ගන්න පුළුවන් සරල ක්‍රමයක් තියනවා. අපි ඒකට කියන්නේ විජලනය කිරීම කියලා. මෙලෙසින් අපට වියලා කල්තබා ගන්න පහසුම දේවල් තමයි කොස්, දෙල්, අඹ, කහ ඉඟුරු, මඤ්ඤොක්කා, බටු, කැරට් වගේ පලතුරු වර්ග.

මෙවැනි එළවළු පලතුරු වර්ග කල්තබා ගැනීම සඳහා විජලනය කරන්න පුළුවන් සාර්ථක විජලන යන්ත්‍රයක් හඳුන්වා දී තිබෙන්නේ NERDC ආයතනය. ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය ලෙස අප හඳුන්වනවා. මේ ආයතනය මඟින් හඳුන්වා දී ඇති විජලන යන්ත්‍රය මඟින් වියලා ගන්නා ඇතැම් වර්ග කුඩු කර පිටි කර ඇසුරුම් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ ආකාරයෙන් පිටි කර තබා ගන්නා ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කිරීමෙන් ඔබට සාර්ථක ව්‍යාපාරයක් පටන් ගන්නත් පුළුවන්.

 

විජලන යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය

මේ විජලන යන්ත්‍රය ක්‍රියාකාරිත්වය සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ දහයියා ලිප් දෙකක්. මේ ලිප් දෙකේ දහන ක්‍රියාවලියෙන් තමයි අපට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය විජලනය කරන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මුලින්ම ඔබ කළ යුත්තේ විජලනය සඳහා ගන්නා එළවළු, පලතුරු, කොස්, දෙල්, ඉඟුරු, කහ වැනි ද්‍රව්‍ය වියලා ගැනීමට පහසු ආකාරයට කුඩා පෙති ආකාරයට කපා ගැනීමයි. දැන් මෙසේ කපාගත් ආහාර කැබැලි වර්ග විජලන යන්ත්‍රයේ තැටි මත ඒකාකාරීව අසුරා ගන්න. මෙහිදී ආහාර කැබැලි එක මත එකට සිටින ලෙස නොසිටින ලෙස ඇසුරුම් කිරීමට ඔබ වගවලා ගත යුතු වෙයි. දැන් කළ යුත්තේ එම යන්ත්‍රයේ ලිප දල්වා ගැනීමයි. මේ සඳහා දහන පෝෂකය ලෙස දහයියා, යොදා ගන්නා ලිප් දෙකක් වෙයි.

මෙලෙස ලිප දල්වා විනාඩි 5 කට පසුව එහි ඇති විදුලි පංකාව නැතිනම් Fan ක්‍රියාත්මක කරන්න. දැන් ඔබ මෙම උපකරණ යන්ත්‍රයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 -60ක තබා ගනිමින් ආහාර වියලීම හොඳින් පරීක්ෂා කරන්න. මෙලෙස විජලන කිරීම ආරම්භ කර පැය දෙකක් වැනි කාලයක් යනතුරු මෙහි වාතය පිටවන ඇතුල්වන කවුළු විවෘතව තැබිය යුතු වෙයි.

මෙහිදී සිදුවන ක්‍රියාවලිය වන්නේ විදුලි පංකාවේ ක්‍රියාකාරීත්වය නිසා වාතය ඇතුළට ඇදගෙන උපකරණයේ පහළ ඇති උණුසුම් කුටීරයෙන් තාපය අවශෝෂණය කරගෙන වියලීමේ ක්‍රියාවලිය ඉක්මන් වීමයි. මෙලෙස උණුසුම් වූ වාතය වියලා ගත්තා. ආහාර දක්වා ගමන් කිරීමේදී ඉතා ඉක්මනින් විජලන ක්‍රියාවලිය සිදුවන අතර එයින් සෑම කැබැල්ලක්ම විජලනය ඒකාකාරී ලෙස සිදුවේ. මේ සඳහා ඔබ ආහාර ද්‍රව්‍ය අඩංගු තැටි ස්ථාන මාරු කිරීමෙන් විජලන ක්‍රියාවලිය තවත් පහසු කරයි.

වැඩි විස්තර සඳහා විමසන්න

011-2429591-2

 

උපදෙස් හා තොරතුරු

ශ්‍රී ලංකා තාක්ෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ

(NERDC) නියෝජ්‍ය අධ්‍යක්ෂ (අලෙවි)

දිල්රුක්ෂි පතිරණ මහත්මිය

 

Tharunie