Thursday, May 02, 2024
Follow Us
රජ රටින් පිටරටට නැව් නඟින රස ගඟුල TJC

පිරිසක් අතරට ඩෙනිමක් ඇඳලා, මේක් අප් එකක් දාගෙන, හයිහීල්ස් සපත්තු දෙකකුත් දාලා “පොෂ්” තරුණ යුවතියක් ආවොත් මොකද හිතන්නේ? අනිවාර්යයෙන් ම හැරිලා බලනවා නේද? ඔව්. සුන්දරත්වය දකින්න හැම කෙනෙක් ම කැමැති යි. එකේ ගැහැනු, පිරිමි කියලා භේදයක් නැහැ. ඉතිං අපි අද ඔබට කියන්නේ ඒ වගේ සුන්දර යුවතියක් ගැන. බැලූ බැල්මට කහම කහ පාටට රසම රස, ජම්බු ගෙඩියක් වගේ පෘෂ්ඨිමත් ව තියෙන, දැක්කම කන්න හිතෙන පලතුරු යුවතියක්.

පුදුම වැඩේ කියන්නේ, මේ පලතුරට අපේ රටේ ඇත්තෝ කියන්නේ පිටරට නමක්. ඒගොල්ලෝ හිතන්නේ ඒක පිටරට පලතුරක් කියලා. හැබැයි මේක අපේ රටේ උපන්න අපේ රටේ හදා ගත්ත අපේ ම එකක්. මොකක් කියල ද හිතන්නේ, පාර අයිනේ අර නම ගහලා තියෙන්නේ කහ පාට අඹ වර්ගයක්. ඒකේ සැබෑ නම TJC. අපේ රටේ අය ඒ කට කියන්නේ අල්පොන්සු කි‍යන ඉන්දීය නමක්. හැබැයි මතක තියා ගන්න ඒක පිටරට පලතුරක් නම් නෙවෙයි. TJC පලතුරු අතර සුන්දර යුවතියක්. අඹ අතර මොඩර්න් පොෂ් යුවතියක්.

 

ටි.ජේ.සි. කියන්නෙ ටොම් එල්ලාවල ජුවාන් කාලොස් කියන එක කෙටි කරලා. මේ අඹ ගෙඩිය හොයා ගත්ත දෙන්නාගේ නම් දෙක. ඒක කෙටි කරලා තමයි, TJC කියලා නම දාලා තියෙන්නේ. ඔන්න, මීට පස්සේ වැරැදි වචනය කියන්න එපා. TJC අඹ කියලා ම ඉල්ලන්න.

 

TJC ගැන මොනවද දන්නේ?

ආ........ ඊට කලින් කියන්නකෝ ඔබ අඹ ගැන දන්නේ මොනවද කියලා. ලංකාවේ අඹ හෙක්ටයාර් 27,000ක් පමණ තිබෙනවා. ගිරා අඹ, පොල් අඹ, යාපනේ අඹ, කර්ත කොලොම්බන්, වෙල්ලම් කොලොම්බන් වගේ අඹ ජනප්‍රියයි. හැබැයි අඹ ලංකාවෙන් අපනයනය කරන්නේ ඉතාමත් අඩු වශයෙනුයි. ලංකාවේ අපනයනය කරන ප්‍රධාන අඹ වර්ගය වන්නේ TJC. දැනට TJC අඹ විශාල ප්‍රමාණයක් අපනයනය සඳහාම සකස් කරන හින්දා TJCවලට වෙළෙඳ පොළේ තියෙන ඉල්ලුම ඉතා ඉහළයි. ඒ නිසා ඔබේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නත්, රස කරලා අඹ ගෙඩියක් කන්නත් TJC අඹ වගාවක් කර ගත්තොත් හොඳයි.

 

වෙනස මොකක්ද?

TJC අඹ ගස්වල තියෙන විශේෂත්වය තමයි එයා අඩි 15ට වඩා උස යන්නේ නෑ. අවුරුද්දේ මාස 9ක් තිස්සේ ම අස්වැන්න දෙනවා. එක ගෙඩියක බර 500g - 800g අතර වෙනවා. ඉතිං බලන්නකෝ ගෙඩිය දිහා. හොඳට මස් පිරිලා. දැක්ක ගමන් කන්න හිතෙනවා. කහම කහ පාටයි. රසත් ඒ වගේම යි. ඉතිං ඒ විශේෂත්වය හින්දා ම TJC අඹවලට තියෙන ඉල්ලුම නම් බිඳක්වත් අඩු වෙලා නෑ. ඒකනේ ගාණත් වැඩි.

 

TJC අඹ ශ්‍රී ලංකාවේ ඕනෙම පළාතක වවන්න පුළුවන්. එයා රස්නෙට ටිකක් කැමැති කෙනෙක්. TJC ආර්ථික ඵලදායීත්වයක් ලබා ගන්න වගා කරනවා නම්, වියළි කලාපය තමයි හොඳට ම ගැළපෙන්නේ. උතුරු මැද, උතුරු පළාත, වයඹ, නැඟෙනහිර, මධ්‍යම පළාත වගේම මාතලේ දිස්ත්‍රික්කයේ පහළ ප්‍රදේශය, දකුණු පළාතේ පහළ ප්‍රදේශය හා ඌව පළාතත් මේ සඳහා හොඳට ම ගැළපෙනවා. TJC ඉපදුණෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දඹුල්ල දිහාවට වෙන්න.

 

පස සකසමු, වගා කරමු....

 

ජලය රඳන්නේ නැති ජලය හොඳින් ගලා යන ගැඹුරු පසක් තමයි මේකට ඕනේ. අර වියළි කලාපයේ තියෙන රතට හුරු දුඹුරු පාට පස නම් මේකට හොඳම හොඳයි. පොළොව ගැන ඔබ දැන ගත්තා. දැන් කොහොමද හිටවන්නේ. මේක හිටවන්න නිර්දේශ කිහිපයක් ම තියෙනවා. වළවල් අතර පරතරය අඩි 25 ගානේ ගත්තොත් අක්කරයකට පැළ 40ක් හිටවන්න පුළුවන්. මේකේ තියෙන තවත් වාසියක් තමයි පැළ අතර කෙසෙල්, පැපොල්, අන්නාසි වගේ අතුරු වගාවකුත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පැළ අතර පරතරය අඩි 15 ගානේ ගන්න පුළුවන්. එහෙම හිටෙව්වොත් අක්කරයකට පැළ 200යි. හැබැයි අතුරු වගාවක් නම් කරන්න බෑ. දැන් බලමු කොහොමද වළ කපා ගන්නේ කියලා. මේකට දිග, පළල, උස අඩි 3ක් වන වළක් අත්‍යවශ්‍යයි. ඔබ වළ කපන වෙලාවේ මුල් අඩි එකහමාරේ කපන පස් ටික වෙනමත් ඊළඟ අඩි එකහමාරේ කපන පස් ටික වෙනමත් වෙන් කර ගන්න. දැන් වළ වටේ තියෙන මතුපිට පස් ටිකත් හූරලා අරගෙන අර මුල් අඩි 1 1/2 පස් ටිකත් එක්ක කලවම් කරලා ගන්න. දැන් ඒ වළට දිරා ගිය ගොම, කොම්පෝස්ට් වැනි කාබනික ද්‍රව්‍ය දාලා හොඳට කලවම් කරන්න. කලවම් කරලා දින 5ක් විතර තියන්න. වතුරත් ටිකක් දාන්න. දින 5කට පස්සේ ඔබට පුළුවන් පැළය හිටවන්න.

 

හොඳ පැළයක්...

දැන් ප්‍රශ්නේ තමයි හොඳ පැළයක් හොයා ගන්නේ කොහොමද කියන එක. හොද TJC පැළයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පැළ තවානකින් ගන්න පුළුවන්. හැබැයි මතක තියා ගන්න ඔබ පැළයක් මිල දී ගැනීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කහ පාට ලේබලය යොදලා සහතික කරලා තියෙනවා ද කියලා හොඳට බලන්න. අඩුම ගානේ පත්‍ර 3ක් වත් තියෙන පැළයක් තෝර ගන්න. පැන්සලකට වඩා මහත කඳක් තියෙන්න ඕනේ. අඩි 3 විතර උස පැළ ඉන්දන්න සුදුසුයි. දැන් මතුපිට ඉටි කවරය ඉවත් කරලා හරියට ම වළ මැද පැළය හිටවන්න. වතුර දාන්න. සාමාන්‍යයෙන් දින දෙක තුනකට සැරයක් වතුර යෙදීම ප්‍රමාණවත් වෙනවා. ඔන්න පැළේ හිටෙවුවා. තව වැඩ ගොඩක් තියෙනවා. කපප්පාදුව, පොහොර යෙදීම, ගෙඩිවලට බෑග් දැමීම වගේ දෙවල්. අපි ඒවා ගැන පස්සෙ කතා කරමු. දැන් පැළ හිටෝ ගන්නකෝ. වගා කරන ක්‍රම ගැන තොරතුරු පත්‍රිකාවක් ඕනෙ නම් ඔබේ වට්ස්ඇප් දුරකථන අංකයක් ලබා දෙන්න.

 

මේ සඳහා වැඩි විස්තර දැන ගන්න 0112877841 අංකයට කතාකරන්න. එහෙමත් නැත්නම්

This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට ලියන්න.

 

ඉදිරිපත් කිරීම

රන්සිලු වටවල

අධ්‍යක්ෂ සංවර්ධන,

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

Tharunie