Friday, March 29, 2024
Follow Us
අභියෝග තමයි අපේ සාර්ථකත්වයේ රහස

දේවේන්ද්‍ර ඇඟලුම් සමූහයේ අධ්‍යක්ෂිකා - චතුරිකා අතුරලිය

සමහර හමුවීම් හරිම අපූරුයි. ඒ වගේම කදිම ගැළපීම්ය. ඔවුන් දෙදෙනාගේ හමුවීම ද ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළටම යෑමට පාර පෙන්වූ ගැළපීමකි.

ඔහු අරුණ දේවේන්ද්‍ර, ඇය චතුරිකා අතුරලිය. ඔවුන් දෙදෙනාගේ හමුවීම අහඹු ලෙස සිදු වූ දෙයක්. එහෙත් ඒ අහඹු හමුවීම තුළින් ඔවුන් සාර්ථක ගමනක් පැමිණ ඇත්තේ වසර හයක් වැනි කෙටි කාලයකිනි. සෑම සාර්ථක මිනිසකු පිටුපසම ගැහැනියක් සිටිනවා යන වහරට තවත් විශේෂණයක් එක් කරමින් සෑම ගැහැනියකගේම සාර්ථකත්වයට පිරිමියකුගේ සහය හා ශක්තිය ද තිබේ. අද ඇය දක්ෂ ව්‍යවසායිකාවක් බවට පත් වී සිටින්නේ අරුණ දේවේන්ද්‍ර නම් ඇයගේ සහකරුවාගේ ද සහයෝගයෙනි. මේ වනවිට ඇය සිය ගණනකට රැකියා සපයන ඇඟලුම් කර්මාන්ත ශාලාවක හා ඇහැළියගොඩ නගරයේ දැවැන්ත ඇඟලුම් ප්‍රදර්ශනාගාරයක හිමිකාරිනිය කි. ශ්‍රී ලංකාවේම ආර්ථිකය දැවැන්ත කඩා වැටීමකට ලක් වූ කාලයක එම අභියෝගයට ඉතාම නිර්භීතව මුහුණ දුන් ඇය කොරෝනා වසංගතයත්, ආර්ථිකය කඩා වැටීමත් හමුවේ තම ව්‍යාපාර ජාලය ඉතා ආදර්ශවත් ලෙසින් පවත්වාගෙන යන්නේ රටට බරක් නැතිව, ආර්ථිකයට ද දැවැන්ත ශක්තියක් එක් කරමිනි. ඇය පැමිණි ගමන් මඟ දෙස ආපසු හැරී බලන විට තවත් කාන්තාවකට ඇගෙන් ගත හැකි බොහෝ ආදර්ශ තිබේ.

"මම මුල්ම රැකියාව කළේ ලක්හඬ ගුවන් විදුලියේ ප්‍රවෘත්ති සංස්කාරිකාවක් ලෙස. හැබැයි ඒ රැකියාව මට දිගු කාලයක් කරගෙන යන්න ලැබුණේ නැහැ. ඇත්තටම ඒ රැකියාවට ගියේ මාධ්‍ය ක්ෂේත්‍රයට තිබුණු කැමැත්තට. ඉන්පසුව තමයි හයිඩ්‍රාමනී ආයතනයේ මානව සම්පත් අංශයට එකතු වුණේ. ඒ කාලේ අරුණ වැඩ කළේ MAS ආයතනයේ ඉංජිනේරුවරයෙක් ලෙසයි. අපි මුලින්ම කළේ අපේ රැකියාව කරන ගමන්ම ප්‍රසිද්ධ ආයතනවලින් ඇඳුම් අරගෙන ඒවා තොග වශයෙන් අලෙවි කිරීමයි. ඒ වැඩේ මුලින්ම පටන් ගත්තේ සුළු ප්‍රමාණයෙන්. අපට ඒකෙන් සමහර අවස්ථාවලදී ලාභ ලැබුණා. සමහර ආයතනවලින් මුදල් ලැබෙන්නේ නැතුව පාඩුත් වුණා. ඊට පස්සේ අපේම තැනක ව්‍යාපාරය මුලින්ම පටන් ගත්තේ අවිස්සාවේල්ල - ගැටහැත්ත ශාඛාව. ඩෙනිම් තමයි අපි විකිණුවේ. එතැන අපි හොඳ නමක් හදා ගත්තා. ලංකාවේ හැමතැනකම ව්‍යාපාරිකයෝ ඩෙනිම් ගන්න එතැනට ආවා. අඩු මුදලට හොඳ ඩෙනිම් දුන්න නිසා අපේ ව්‍යාපාරය හොඳට ජනප්‍රිය වුණා.

ඒ ඩෙනිම් ගන්න එන ව්‍යාපාරිකයන් අහනවා කාන්තා ඇඳුම්, ටීෂර්ට් එහෙම නැද්ද කියලා. අපි ඒ අදහසත් එක්ක හිතුවා පොඩි පරිමාණයේ ගාමන්ට් ෆැක්ටරියක් පටන් ගන්න. මුලින්ම කළේ මැෂින් කිහිපයක් දාලා පුංචි ෆැක්ටරියක්.

අරුණ දිගටම රැකියාව කළා. එයා හවස වැඩ ඇරිලා ඇවිත් රෑ නවය දහය වෙනකම් අපේ ෆැක්ටරියේ වැඩ කරනවා. මම තමයි marketing පැත්ත බැලුවේ. අනෙක් ඔක්කොම කළේ අරුණ තමයි. ඉන්පස්සේ අපෙන් ඩෙනිම් ගත්තු ව්‍යාපාරිකයෝ අපි මහන ඇඳුම් ගෙනියන්නත් පුරුදු වුණා. අපිත් එක්ක වෙළෙඳාම් කරන ආයතනවලටත් අපේ ඇඳුම් දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ හොඳ ඉල්ලුමක් තියෙන ව්‍යාපාරයක් ඇති වුණා.

මේ අතරේ තමයි ෙකාවිඩ් වසංගතය ආවේ..

ඒත් එක්ක අපේ ව්‍යාපාරය කරගෙන යන්න අපහසු වුණා. ඒ වෙනකොට අපේ සේවිකාවෝ 20ක් -30ක් හිටියා. අපට මේ දරුවන්ට පඩි දෙන්නත් ක්‍රමයක් නැහැ. අපි හොඳ පඩියක් දුන්න නිසා ඒ අය වැඩ කළේ හරිම කැමැත්තෙන්. ඒ අයත් හොඳට එක පවුලක් වගේ කරගෙන ගියේ. අපි ඊට පස්සේ මේකෙන් ගොඩ එන්න විකල්ප හෙව්වා. අපි දන්න ඇඟලුම් අපනයන කරන ආයතනවලට කතා කළාම අපට හොඳ විදේශ ඕඩරයක් ලැබුණා. දස දහසක ප්‍රමාණයක විශාල ඇනවුමක් තමයි ලැබුණේ. ඒ ඕඩර් එකට ඇඳුම් සපයන්න උපකරණ තිබ්බෙත් නැහැ. සේවකයො හිටියේත් නැහැ. නමුත් අපි අවදානමක් එක්ක මේ විශාල ඕඩර් එක භාර ගත්තා.

 

ඒකට ඉක්මනින්ම සූදානම් වුණා. විශාල සේවක පිරිසක් බඳවා ගත්තා. මාස තුනක් වගේ කාලයක් හොඳට කරගෙන යනකොට තමයි ආයෙමත් ෙකාවිඩ් පැතිරුණේ. හැබැයි ඒ කාලේදී අපේ ඇඳුම් විකුණා ගන්න පුළුවන් වුණා. අපි සේවාදායකයන්ට අවශ්‍ය දේ සපයලා හොඳ සේවයක් සපයපු නිසා අපට හොඳ සේවාදායකයෝ පිරිසක් හිටියා. අදටත් කොළඹ අය පවා රෙදි ගන්න අප ළඟට එනවා.

ඇහැළියගොඩ නගර මධ්‍යයේ Dewendra Brand Store කියන සාප්පු සංකීර්ණය විවෘත කළා. මාස හයක් යනකොට අපට තට්ටු දෙකක් මදි වෙලා තවත් තට්ටු දෙකක ඇඳුම් අලෙවි කිරීම ආරම්භ කළා. අපි ඊට පස්සේ Dewendra Apparels Pvt Ltd ආයතන අාරම්භ කරා.

ඔබට අභියෝග එනවා නම් බාධක එනවා නම් අනිවාර්යයෙන්ම ඔබ දැන් දියුණුවේ මාර්ගයට පිවිසී ඉන්නේ. එම බාධක හමුවේ නොසැලී ඉදිරියට ගියොත් කරන වැඩය බොරු නැතිව, හොර නැතිව කරගෙන යෑමෙන් ඔබට පුළුවන් අපි වගේම සාර්ථකත්වය ලබාගන්න. ඒ වගේම ව්‍යාපාරයක් කරද්දි අවදානම කියන දේ ගන්න බැරි නම් ඔබ කවදාවත් ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසෙන්න එපා. එහෙම අවදානම් ගන්න බැරි වුණාමයි ව්‍යාපාර කඩා වැටෙන්නේ, ව්‍යාපාර නැතිවෙලා යන්නෙ. ඒ වගේම ව්‍යාපාරයක සේවය කරන සේවක සේවිකාවන්ගෙනුත් ඉල්ලන්න දෙයක් තියෙනවා. ඔබ යම් ආයතනයක වැඩ කරනවා නම් හරියට වැඩ කරන්න. එතකොට ඔබට ඒ ආයතනයේම හෝ වෙනත් ආයතනයක හෝ රැකියාවෙන් ඉදිරියට යන්න පුළුවන්. තමන් ගන්න වැටුපට නියමාකාරයෙන් සේවය ලබා දෙන්න පුරුදු වෙන්න. ලංකාවේ ව්‍යාපාර වැටෙන්නත්, ව්‍යාපාරය ඇති වෙන්නත් බලපාන එක් සාධකයක් තමයි තමන්ගේ සේවක පිරිස. ඒ වගේම සේවකයන් බඳවා ගන්නත් නිරන්තරයෙන්ම ඔවුන් රැකගන්නත්, ඔවුන් ඉදිරියට ගෙන යන්නත් අපි අවධානය යොමු කරන්න ඕනෙ. ලංකාව මේ මුහුණ දී තිබෙන්නේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉතාමත්ම භයානක වූ අවදියකට. ඒ නිසා ව්‍යාපාරවල සේවය කරන සේවක මහත්ම මහත්මීන් නිසි ආකාරයෙන් තමන්ගේ සේවය සපයා දෙනවා නම් ලංකාව වැටෙන්නේ නැතුව ඉදිරියට ගෙන යන්න අපිට පුළුවන් වෙයි.

මේ සුහද පිළිසඳර අතර දේවේන්ද්‍ර ඇපරල්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ අරුණ දේවේන්ද්‍ර මහතා ද අප සමඟ කතා බහට එක් වුණා.

"අපට මේ අභියෝගාත්මක කාලයේ විශාල පිරිසකට රැකියා අවස්ථා ලබා දීමට හැකිවීම ලොකු සතුටක්. අපේ සේවය හොඳට සැපයීම නිසා තව හොඳ විදේශ ඇනවුම් කිහිපයකුත් ලැබුණා. දැන් අපගේ ව්‍යාපාර ජාලයේ 350ක් පමණ සේවක පිරිසක් සේවය කරනවා. ඊට අමතර වක්‍ර ආකාරයෙන් යැපෙන විශාල පිරිසකුත් ඉන්නවා. ඇත්තට අපේ ආයතනය පිහිටා තිබෙන්නේ සීතාවක ආයෝජන කලාපය ආසන්නයේ වුණත් අපිට ඒ තරම් අභියෝගයක් නැහැ. අපි සේවකයන්ට හොඳ වැටුපක් ගෙවනවා. ඇහැළියගොඩ අවට තරුණ තරුණියෝ තමයි වැඩි ප්‍රමාණයක් ඉන්නේ. ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සපයන නිසා පැය අටේ සේවා මුරයෙන් පසුව ගෙදරට ඉක්මනින් යන්න අවස්ථාව ලැබෙනවා.

ඇත්තටම අපි මේ ක්ෂේත්‍රයේ සේවය කළ නිසා සේවකයන්ගේ දැවෙන ප්‍රශ්න දන්නවා. අපට හොඳ දක්ෂ තරුණ තරුණියෝ හමු වෙනවා. ඒ දරුවන්ට දියුණු වෙන්න ආසාව තියෙනවා. අත දෙන්න කවුරුවත් නැහැ. අපි ඔවුන්ට රැකියාවට අමතරව ඉතිරිය ගැන සෑම අවස්ථාවකම කියා දෙනවා. අපි දියුණු වුණු ආකාරය ගැන කියා දෙනවා. විවිධ පවුල් ගැටලු නිසා අසරණ වුණු දරුවන්ට අපි හැකි ආකාරයෙන් උදව් කරනවා. ඊට අමතරව ඔවුන්ගේ මානසික මට්ටම සහ ජීවිතය ගොඩනඟා ගැනීම සඳහා මාසිකව වැඩසටහන් පවත්වනවා.

මේ කටයුතුවලට අමතරව අපේ ඇඟලුම් ආයතනයේ සුබ සාධක වැඩසටහන් රාශියක් පවත්වනවා. වසර හයක් වැනි කෙටි කාලයක් තුළ මේ වගේ ගමනක් එන්න, අපට අවස්ථාව ලැබුණේ එකම පවුලක් ලෙස සෑම සේවකයෙක්ම කටයුතු කරපු නිසයි. ඒ ගෞරවය සහ අභිමානය සෑම සේවකයකුටම ලබාදිය යුතුයි කියන ආකල්පය අපට තිබෙනවා. අපි දන්නවා මේ තරුණ ජවය කොයි තරම් වටිනවා ද කියලා. ඔවුන්ගේ දහඩියට හොඳ වැටුපක් වගේම ඇගැයීමක් ලබා දෙන්න අපි උත්සාහ කරනවා. හොඳින් සේවය කරන සෑම සේවිකාවක්ම ගෞරවයෙන් අගය කිරීම තමයි අපේ දියුණුවේ රහස"

එම දියුණුවේ රහස සමඟ ඉතාම අසීරු කාල පරිච්ඡේදයක් තුළ අභියෝග මැදින් ආ මඟ දෙස ඔවුන් දෙදෙනා සහ ආදරණීය දියණිය නිහතමානි ලෙසින් බලා හිඳියි. Lady J ආයතනයේ අධිපතිතුමා ඇතුළු බොහෝ පිරිසක් ඔවුන්ගේ ව්‍යාපාරය ගොඩනැගීමට අත දුන් බව ද සිහිපත් කළේ මහත් ගෞරවයෙනි.

Tharunie