Friday, April 19, 2024
Follow Us
කියවන්නට හැකි නම් රැක දෙයි පැවැත්ම දිගු කල් ‘මැහුම් කලාවේ නිම් වළලු පුළුල් කරන චාරිකාව‘

care label එකක තිබෙන සංකේත කිහිපයක් ගැන අවධානය යොමු කරමුකො.

බොහෝ දෙනෙක් වෙළෙඳපොළට ගියාම කරන්නෙ තමන්ගේ සිරුරේ ප්‍රමාණයට සහ සිතට ගැළපෙන ඇඳුමක් මිලදී ගැනීමයි. බහුතරයක් දෙනා එහෙමයි කියන එක ගැන තර්කයක් නැහැ. ඊළඟට මොකද කරන්නෙ... ගෙදර ඇවිත් වොෂිං මැෂින් එකෙන් හරි, අතින් හරි හෝදනවා. වොෂිං මැෂින් එකේ දී කැරකිලා, ඇඹරිලා, මිරිකිලා වවුල් හපයක් වාගෙ එළියට ගන්නවා. අතින් හේදුවත් ඇත්තටම බිංදුව තෙක්ම කිටි කිටියේ මිරිකා හැරලා වේළා ගන්නවා. ඊළඟට අයන් එක හොඳට රත් කරලා මදිනවා. දැන් ජැංඩි පහට ඇඳගෙන යනවා.

ඔච්චර තමයි.

මෙහෙම හරි ද... හිතන්න, අවධානය යොමු කරන්න වෙන කිසිම දෙයක් නැද්ද....?

ඒ ප්‍රශ්නය මම ඇහැව්වා. අපේ සම්පත් දායකයා එරංග රණසිංහයන්ගෙන් ...

"ඉතාම හොඳ ප්‍රශ්නයක් ඇහැව්වේ. ඔය කාර්යම සීයට අනුවක් දෙනා දන්නෙ නැහැ. ඒ වගේම දන්නා අය නිවැරැදි පිළිවෙත අනුගමනය කරන්නෙත් නැහැ. ඇඳුමක් ගත්තාට එය නිර්මාණය කර තිබෙන රෙදි වර්ගය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කාරණා රැසක් තියෙනවා.."

 

හරි ඉතින් කොහෙද ඒ උපදෙස් තියෙන්නෙ? ඒ ගැන කවුරුත් කියන්නෙ නැහැනෙ.

"ඔන්න ඔතැන තමයි වැරැද්ද තියෙන්නෙ. ඇඳුම් සම්බන්ධ සාක්ෂරතා‍වෙන් අපේ අය ඉන්නෙ බිංදුවේ. ඒ නිසා තමයි ඇඳුමක් මිල දී අරගෙන වැඩි කාලයක් යන්න කලින් වැරහැලි බවට පත් වෙන්නේ. අවශ්‍ය උපදෙස් ප්‍රමිතිගතව නිපදවන සෑම ඇඳුමකම තියෙනවා."

 

ඇඳුමෙ තියෙනවා.. ඒ කොහෙද?

"ඒවා තියෙන්නේ ඇඳුමේ තියෙන ලේබල්වල. නිමි ඇඳුමක ඉවත් කරන ටැග් කාඩ්වලට අමතරව ඇඳුමේ යට පැත්තේ මැහුමට සම්බන්ධ කර තිබෙන ස්ථාවර ලේබල් තිබෙනවා ඔබ දැක ඇති. ඒවායේ අවශ්‍ය තොරතුරු සියල්ලම අන්තර්ගතයි. මේවා ඇඳුමක කොලිටි එක ගැන අවබෝධය ලබා ගැනීමට පාරිභෝගිකයාට උපකාරී වෙනවා.

 

උසස් තත්ත්වයේ ප්‍රමිතිගත ඇඳුමක මේ ලේබල් තිබීම අනිවාර්යයි. එවැනි ලේබල් වර්ග තුනක් ප්‍රධාන වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්. ඒ තමයි,

ප්‍රධාන ලේබලය (main label)

ප්‍රමාණ ලේබලය (size label)

ආරක්ෂිත උපදෙස් ලේබලය (Care label)

 

මෙතැන දී මුලින්ම අවශ්‍ය වෙන්නේ ප්‍රමාණ ලේබලයයි. අපට අවශ්‍ය ප්‍රමාණය S, M, L, XL, XXL ආදී වශයෙන් සඳහන් කර තිබෙන්නේ එහිය. ඇඳුම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු තාක්ෂණික උපදෙස් තියෙන්නේ care label එකේ. මෙය බොහෝදෙනා නො සලකා හරිනු ලබනවා.

 

ඒ ඉතින් නො දැනුවත්කම නිසානෙ එරංග

"ඉතින් දැනුවත් වෙන්න එපායෑ සොයාගෙන ගිහින්. දැනුම ළඟට එන්නෙ නැහැනෙ."

 

තරුණී මැහුම් ඉස්කෝලෙ ආරම්භ කළේ ඒ දැනුම නිවෙසටම ගිහින් දෙන්නයි. මොකද කිව්වොත් අහලා දැනගන්නත් දන්න අය අල්පයිනෙ...

දැන් තේරෙනවා නේද ලේබලයක තිබෙන වැදගත්කම? මේවා හඳුන්වන්නේ ලොන්ඩ්‍රි සිම්බල් (Laundry Symbols) කියලයි. මේ උපදෙස් පිළිපදින්නේ නැතුව ඇඳුමක දිගුකාලීන පැවැත්මක් ලබා ගන්නට බැහැ.

 

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී

එරංග රණසිංහ

ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්

Tharunie