Thursday, April 25, 2024
Follow Us
ඇඳුමකට අවශ්‍ය ‍බොත්තමේ කතාව

ඇඳුමක් මැසීමට අවශ්‍ය උපාංග බොහොමයි

මැෂින් ගැන කතා කළා. ඉඳිකටු ගැන කතා කළා. රෙදි ගැනත් කතා කළා. එතකොට නූල්... ඒ දැනුමෙනුත් ඔබ දැන් සන්නද්ධයි. ඒ වගේම තවත් උපාංග කිහිපයක්ම තියෙනවා ඇඳුමක් සම්පූර්ණයෙන් නිමා කරන්නට නම්... ඒ ගැන විමසීමක් කරන්නයි අද සූදානම.

 

අපට කියන්නකො එරංග මොනවද මේ උපාංග කියලා...

 

"මැෂිම, ඉඳිකටු, නූල් සහ රෙදි... මේවා භාවිතයෙන් කපා ගන්නා ඇඟලුම මූට්ටු කරගන්න පුළුවන්. එයට පරිපූර්ණ නිමාවක් ලබා දීමට නම්, බොත්තම්, සිපර්, ලේබල් හා ගාන්චු යනාදී උපාංග අවශ්‍ය වෙනවා. මතුපිටින් සරල බවක් ඔබට පෙනුණාට, ඇඟලුම් කලාවේ වෘත්තිකයකු නම් එහෙම හිතන්නේ නැහැ. ඒ නිසා ක්ෂේත්‍රයට පිවසීමට අදහස් කරගෙන සිටින ඔබටත් ඒ දැනුම අත්‍යවශ්‍යයි. එතැන දී මුල්ම අවශ්‍යතාව බවට පත්වෙන්නේ බොත්තම් සහ සිපර්. අද අපි කතා කරමු බොත්තම් ගැන.

ඇඳුමක් නිර්මාණය කිරීමේ දී ඇඳීමේ පහසුව සඳහා ඉදිරිපසින්, පිටුපසින් හෝ පැත්තකින් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විවර තැබීම සිදු කරනු ලබනවා. මෙම විවර පියවීම සඳහා තමයි බොත්තම් හෝ සිපර් අවශ්‍ය වෙන්නේ.

 

බොත්තමේ ප්‍රමාණය, වර්ණය සහ හැඩය ගැන ද ඔබ කියන්නේ?

"ඒවත් අවශ්‍යයි තමයි නමුත් එයට වඩා සංකීර්ණ කරුණක් තියෙනවා. බොත්තම් කියන අත්‍යවශ්‍ය උපාංගය ගැන කතා කිරීමේ දී මුලින්ම ඒවායේ ප්‍රභේද ගැන අවබෝධයක් ලබාගන්න ඕනේ. මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ Normal button හා Snap button ලෙස..

Normal button කියන කොටසම වැටෙන්නේ ප්ලාස්ටික්. වීදුරු ආදියෙන් නිර්මාණය කළ බොත්තම්. මේ නිෂ්පාදන තමයි ඇඟලුම් නිෂ්පාදනයේ දී බහුල වශයෙන් යොදා ගැනෙන්නේ.

 

ස්නැප් බටන්

Snap button බහුලව යොදා ගනු ලබන්නේ ජැකට් සහ ළදරු ඇඳුම් සඳහායි. ඒ සඳහා විශේෂ හේතුවක් තියෙනවා. ස්නැප් බොත්තම් පියවූ පසුව පහසුවෙන් ගැලවිය නො හැකියි. මෙම Snap button යළි කොටස් දෙකකට බෙදෙනවා. එනම් Top Side button හා Bottom Side button ලෙස...

ටොප් සයිඩ් කියලා හඳුන්වන්නේ ඇඟලුමක උඩ කොටසට. එයට අල්ලන බොත්තම් තමයි ටොප් සයිඩ් බටන් කියන්නේ. බොටම් කියන්නේ පහත කියන එකනෙ. බොටම් සයිඩ් බටන් අල්ලන්නේ ඇඟලුමක පහත කොටසට.

 

ඔබ කිව්වා බොත්තම් තෝරා ගැනීම සංකීර්ණයි කියලා...

"ඒ ගැන විග්‍රහ කරන්නයි මේ සූදානම. මුලින් කිව්ව ප්ලාස්ටික් බොත්තම් තෝරා ගැනීමේ පහසුව දැක්වෙන වගුව බලන්නකෝ (Button size chart)

තවත් සුවිශේෂී බොත්තම් විශේෂයක් තමයි ඩිසයින් බටන් කියන්නේ. එමෙන්ම වෙනස පැහැදිලි වෙනවනේ. ඒ බොත්තම්වලට විවිධාකාර මොස්තර සහ හැඩතල යොදා තිබෙනවා. නිෂ්පාදනයේ දී භාවිත කරන අමුද්‍රව්‍ය අනුවත් බොත්තම් වර්ග වෙනවා. එනම් ප්ලාස්ටික් බටන්, ෆැබ්රික් බටන් හා ග්ලාස් බටන් ලෙස.

ඔබ දැක ඇති රෙදිවලින් ආවරණය කරපු බොත්තම්. ඒවාට තමයි ෆැබ්රික් බටන් කියන්නේ. ඒවා අයත් වෙන්නෙත් ඩිසයින් කොටසට.

 

හැම දෙයක්ම වගේ බොත්තම් ඇල්ලීමත් අධිවේගී වෙලා නේද?

"අනිවාර්යෙන්ම. ව්‍යාපාරික ඇඟලුම් ක්ෂේත්‍රයේ මේ සඳහා බොත්තම් ඇල්ලීමේ අධිවේගී මැෂිමක් භාවිත කරනවා. එය හඳුන්වන්නේ Button Attach කියලයි. එතකොට ස්නැප් බටන් ඇටෑව් කරන්න තවත් මැෂිමක් තියනවා. එය සිදුවන්නේ ඩයි සෙට් විදිහට..."

 

ඩයි සෙට් කියන්නේ මොකක් ද?

ඩයි සෙට් කියන්නේ දෙකකින් සවි වෙන බොත්තම්වලට. ඒක හරියට රිවට් කිරීමක් වගෙයි. ඇඟලුමේ මතුපිට අවශ්‍ය තැනට බොත්තම තියලා, එය ඇඟලුමට සවි කරන ලොක් වෙන කොටස ඇඳුමේ යට පැත්තෙන් තියලා යන්ත්‍රයක් ආධාරයෙන් තෙරපුමක් ලබා දීම මඟින් සවි කරනු ලබනවා.

මේ ක්‍රමයට අත් යන්ත්‍රයක් භාවිත කරනවා ටේලර් සාප්පුවල. පෙර සඳහන් කළ යන්ත්‍රය අධිවේගී එකක්.

නොයෙකුත් ප්‍රමාණවලින් නිපදවෙන බොත්තම් පනහකට ආසන්න සංඛ්‍යාවක් වෙළෙඳපොළේ තිබෙනවා. බොත්තම් මනිනු ලබන්නේ කොහොමද කියන එක රූප සටහන් නිරීක්ෂණයෙන් ලබාගන්න පුළුවන්.

 

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී

එරංග රණසිංහ

ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්

Tharunie