Thursday, April 18, 2024
Follow Us
සිහින නිවෙස සැලසුම් කරන්නේ කොහොමද?

ඕනෑම දෙයක් සාර්ථක කර ගැනීමට නම් ඒ පිළිබඳ කලින් කරුණු රැස් කිරීම, අධ්‍යයනය, ගවේෂණය කිරීම ඉතාම හොඳ ක්‍රමවේදයකි. ඒ නිසා ඉදිකරන්න යන ඔබේ සිහින මාලිගය ගැන පවුලේ අය එකතුව සාකච්ඡා කරන්න.

නව නිවෙසක් සෑදීමත් බොහෝ දෙනකුට අලුත් අත්දැකීම් එකතු කරන කාර්යයක්. ආරම්භයේ දී නම් තමාට අවශ්‍ය නිවෙස මෙන්න මේ වගේ යැයි විස්තර කර කියන්නත් එතරම් අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි විවිධ මෝස්තරවල නිවාස පිළිබඳ විස්තර ඇති පොත්පත්, සඟරා, වෙබ් අඩවි මඟින් කරුණු රැස් කර ගන්නේ. පින්තූර එකතු කරගන්නේ. කාලයේ තාලයට ඔබින සහ සිත් ගත් නව නිවාස සැලසුම් රැසක් විමසා බලා මනසින් යම් යම් ආකෘති මවාගෙන සිහින නිවෙසේ අඩිතාලම සිතේ ගොඩනගාගන්නේ මේ ආකාරයටයි. විවිධාකාරයේ නිවාස රූප නිරීක්ෂණය කිරීම, පවුලේ අය සමඟ ඒවායේ කරුණු සාකච්ඡා කිරීම, ගැළපෙන පින්තූර වෙන්කර ගැනීම ආදී බොහෝ කාරණාවන් සිදුවෙන මේ කාලය නම් ඉතා සුන්දරයි.

 

කතාබහ හොඳයි

"ගේ ඉස්සරහ පෙනුම මට මේ විදිහට ඕනේ..., කෑම මේසය ළඟට මැද මිදුලක් දැම්මොත් ගේ ඇතුළ ලස්සන වේවි..., උසට ජනෙල් මේ විදිහට දැම්මොත් ලස්සනයි...., වහලයක් නැතුව ස්ලැබ් එකක් දාලා හදපු මේ ගේත් ලස්සනයි..., බිත්තිවලට කළුගල් පතුරු අල්ලලා අයිස් ක්‍රීම් කෝන් වගේ කණු දාලා වැරැන්ඩාව හැදුවාම පොඩි අන්කොමන් ගතියකුත් තියෙනවා..., ඩබල් හයිට් කණු දෙකකුත් සැලැස්මට දාගන්න පුළුවන් නම් මේ වගේ ගාම්භීර පෙනුමක් තමයි එන්නේ...." .ඉදිකරන්න යන සිහින මාලිගය ගැන පවුලේ අය එකට එකමුතුව මෙසේ විවිධ අදහස් සාකච්ඡා කිරීම ඉතා හොඳ දෙයක්. එමඟින් බිහිවන්නේ පවුලේ සැමට අවශ්‍ය විදිහට ගැළපෙන නිවෙසකි.

සිහින මවන මේ කාලය තුළ තමුන්ගේ හිතේ ඇතිවෙන අධිෂ්ඨානය, ධනාත්මක සිතුවිලි, මුදල් හා ක්‍රම සම්පාදනය පිණිස ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය මඟින් ඔබ නො දැනුවත්වම නිවෙසේ වැඩ කටයුතු ඇරැඹීම වෙනුවෙන් සුබ පරිසරයක් බිහිකර හමාරයි.

 

ගැළපීම් - නො ගැළපීම්

බොහෝ අවස්ථාවල දී එක් ස්ථානයක නිර්මාණය කළ නිවාස සැලසුමක් තවත් ස්ථානයකට ගැළපෙන්නේ ඉතාම කලාතුරකින්. පළමු සැලැස්ම පිළියෙල කළේ වාස්තු විද්‍යාත්මකව නම්, ඉඩමට පැමිණෙන ආකාරය, ඉඩමේ දිශාගත පිහිටීම, ඉඩමේ ප්‍රමාණය, නිවැසියන්ගේ අවශ්‍යතාව, හඳහන්වලට අනුකූල වීම, නිවෙස වෙනුවෙන් යන වියදම, ඉඩමේ ඇති භූ විෂමතා ලක්ෂණ, සුළං හමන දිශා හා සුළං මුවාව, යාබදව පිහිටන ගොඩනැගිලි හා පරිසර රටාව, වාහන නැවතුම, ගේට්ටුව, ලිං - වැසිකිළි වළ පිහිටුවිය යුතු ස්ථාන, ස්වාභාවික පරිසරය සමඟ නිවෙස මුසු කිරීමේ ක්‍රම ආදී කරුණු බොහොමයක් ගැන සැලකිල්ලට ගෙනයි නව නිවාස සැලැස්ම සකසා තිබෙන්නේ. වෙනත් ස්ථානයක ඇති නිවෙසක අලංකාරය ගැන පමණක් සිතා එබඳුම නිවෙසක් තම ඉඩමේ පිළියෙල කිරීමට උත්සාහ කිරීමෙන් ඉහත සඳහන් කාරණා බොහොමයක් එකිනෙක නො ගැළපී යන්න පුළුවන්.

 

මාදිලියට මූලිකත්වය

ඉහත කරුණු සියල්ලම ඒ හා සමානවම ගැළපෙන තවත් නිවෙසක් බිහි වීම අතිශය විරල සිදුවීමක්. ඔබත් නිවාස සැලසුම් හා විවිධ මෝස්තරයේ නිවාස පිළිබඳ කරුණු සොයා බලනවා නම් තමාගේ ඉඩමට ගැළපෙන, අවශ්‍යතාවට සහ වියදම් කළ හැකි මුදලට සරිලනවා යැයි හැඟෙන මාදිලිවලට මූලිකත්වය ලබා දීම වඩාත් යහපත්. එසේ තෝරාගත් නිවාසවල ඇති විවිධ හැඩතල, මෝස්තර, අලංකාරාත්මක අංග කොටස්, බිත්තිවල මතුපිට නිමාව ආදී ඔබේ සිතැඟි අනුරූපයන් ගැළපෙන සේ නිවෙසට ඇතුළත් කිරීම ඉතා සුදුසුයි.

 

සැලසුම ඒ ආකාරයට ම පුළුවන් ද?

විවිධාකාරයේ අංගයන් සහිත නව නිවෙසක් සඳහා ගොනු කිරීමේ දී නිවෙසක් සැලසුම් කිරීමේ කලාව සහ වාස්තු මූලධර්ම ගැන සැලකිලිමත් වීම සිදුවිය යුතු දෙයක්. ඔබ තෝරා ගත් විවිධ මාදිලියේ නිවාස මෝස්තර එකතුවක් නිවාස සැලසුම් ශිල්පියා හට පෙන්වා මීට බොහෝදුරට සමාන නිවෙසකට කැමැති බව මුල දී දැන්වූවාට වරදක් නැත. නමුත්, වෙන තැනක ඇති සැලැස්මක් ඒ ආකාරයටම තමා වෙනුවෙන් තෝරා ගැනීම හා ඉදිකිරීම නම් වාස්තු විද්‍යාව ගැන සැලකිලිමත් වන ඔබ සිදු නො කළ යුතු දෙයක්.

 

විදෙස් නිවාස සමඟ සැසඳීම

විදේශීය නිවාස සමඟ කරුණු ගළපා බලමු. ඇතැම් නිවාස සැලසුම්වල දක්වා ඇති පරිදි වහලය නිර්මාණයේ දී හෝ අලංකාරයට ඉදි කරන ඇතැම් කොටස් මඟින් නිවෙසේ දක්වා ඇති එම පෙනුම ලබා ගැනීමට විශාල

අමතර මුදලක් වැයකිරීමට සිදුවිය හැකියි. මේ ගැන අවබෝධයක් සහිතවයි විවිධ නිවාස සැලසුම් ආශ්‍රයෙන් තමාගේ නිවාස සැලසුම නිර්මාණය කළ යුත්තේ.

සැලසුම් කලාව, විද්‍යාත්මක මූලධර්ම, නව නිර්මාණ, ඉදිකිරීම් ක්‍රම ආදී විෂයය සාගරයේ පිහිනා, කිමිදී එක්රැස් කරගත් මාහැඟි වටිනා දේ, ඔබ විසින්ම නිවෙසට නිසි පරිදි පලඳන්න උත්සාහ කරන්න. එයින් නිවෙසේ අගය - වටිනාකම - සෝබාව වැඩි වී බලාපොරොත්තු වූ සිරි නිවෙසම ඉදි වෙනවා දකින විට ඔබ තව තවත් තෘප්තිමත් වේවි.

 

සිවිල්/ව්‍යුහාත්මක ඉංජිනේරු, වාස්තු විද්‍යා විශාරද ආචාර්ය
ගයාන් එරමුදුගොඩ
ලියයි

Tharunie