Thursday, March 28, 2024
Follow Us
නිවැරැදිව සිටුවා ගත්තොත් හොඳින් මුල් අදිනවා

ජීවිතේ ලස්සන කරන්න, අතට මුදලක් උපයා ගන්නට නිවෙසේ සිටම කළ හැකි කදිම ස්වයං රැකියාවක් ලෙස ඇන්තූරියම් වගාව හඳුනාගත හැකියි. මේ සඳහා මඟ පෙන්වීමක් කරමින් අවශ්‍ය උපදෙස් බොහොමයක් ඔබ වෙත ගෙන ආවෙමු. අද අපේ කතා බහ පැළයක් සහ ලොකු ගසක් සිටුවා ගැනීම පිළිබඳයි.

සුදුසු පැළයක් තෝරා ගැනීම

පැළයක් බඳුන්ගත කිරීමේ දී මූලිකව සලකා බැලිය යුතු කරුණු කිහිපයකි. එනම්, මව් ගසකින් පැළයක් වෙන්කර සිටුවා ගැනීමේ දී වෙනම බඳුන්ගත කළ හැකි සුදුසු තත්ත්වයේ පැළයක් තෝරාගත යුතුයි. පැළයේ පත්‍ර 3 - 4 ක් වත් තිබිය යුතුයි. හොඳින් වර්ධනය වූ මුල් කිහිපයක් තිබිය යුතුයි. (මව් ගසෙන් වෙන්ව අවශ්‍ය පෝෂක ලබාගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස මුල් තිබිය යුතුය.) නිරෝගි පැළයක් විය යුතුයි.

 

මාධ්‍ය සැකසීම

ඇන්තූරියම් ගසක් බඳුන්ගත කිරීමේ දී මාධ්‍ය අවශ්‍ය වන්නේ පැළය රඳවා ගැනීම සඳහා පමණි. එබැවින් ඒ සඳහා බහුල වශයෙන් හොඳින් සෝදා පිරිසුදු කරගත් ගංගා වැලි කැට (ඉතා කුඩා තිරුවානා කැට) සහ කුඩාවට කපාගත් වියළි පොල් ලෙලි කැබලි භාවිත කරයි.

පොල් ලෙලි කැබලි දිනක් හෝ දෙකක් දිලීර නාශක යෙදූ වතුරේ පොඟවා දිය බේරාගෙන (කහට ගතිය ඉවත් කර) පාවිච්චියට ගත යුතුයි. මාධ්‍ය සැකසීමේ දී වැලි කැට 1ට පොල් ලෙලි කැබලි 1 බැගින් මිශ්‍ර කිරීම වඩාත් සුදුසු අනුපාතය වන අතර එක් එක් ප්‍රදේශයට අනුව වගාකරුවන් තමන්ට ආවේනික අනුපාතයෙන් මිශ්‍රණය සාදා ගනියි.

 

බඳුන් තෝරා ගැනීම

සාමාන්‍යයෙන් පැළ බඳුන්ගත කිරීමේ දී සෙන්ටිමීටර් 10.5 සහ 14 ප්‍රමාණයන්ගෙන් බඳුන් අවශ්‍ය වේ. ඉතා කුඩා පැළ සෙන්ටිමීටර් 10.5 බඳුන්වල ද අඟල් 6 - 7 ක ප්‍රමාණයේ පැළ සෙන්ටිමීටර් 14 බඳුන්වල ද සිටුවා ගැනීම සිදුකරයි.

පැළයේ ප්‍රමාණය අනුව වඩා විශාල සහ ඉතා කුඩා බඳුන් යන දෙකම පැළය වර්ධනයට නුසුදුසු වේ. බඳුනේ ඇති ජලය ගලායාම සඳහා ඇති සිදුර හොඳින් විවෘත වන ලෙස සකසා ගන්න. බඳුන්, බඳුන් රඳවනයක් මත තබාගන්න. (මඩ විසි නොවන ලෙස)

 

ඇන්තූරියම් පැළය සිටුවා ගැනීම

සකසාගත් සෙන්ටිමීටර් 14 බඳුනේ ¼ ක් පමණ සෝදාගත් ගංගා වැලි කැට දමන්න. සකසාගත් මාධ්‍ය බඳුනේ භාගයකට වඩා අඩුවෙන් සිටින ලෙස දමාගන්න. තෝරාගත් පැළය මාධ්‍ය මත බඳුනේ මැදින් තබා ඔස්මකෝට් N කැට තේ හැන්දක පමණ ප්‍රමාණයක් පැළය වටා විසිරෙන ලෙස යොදන්න.

ඉන්පසු පැළයේ මුල් සහ ඔස්මකෝට් වැසෙන තෙක් පමණක් මාධ්‍ය එකතු කරන්න. දැන් සිටුවාගත් පැළය සහ මාධ්‍ය සේදී සිදුරුවලින් පිටතට ගලායන

තෙක් ජලයේ දියකර සාදාගත් මාධ්‍ය

ජීවානුහරණ (දිලීර නාශකයක්) ද්‍රාවණයක් යොදන්න.

බඳුන්ගත කළ පැළය 80%ක් සෙවණේ නොසෙල්වෙන ලෙස තබා අවශ්‍ය ප්‍රමාණයට ජලය සපයමින් සති දෙකක් පමණ තැබීමෙන් මාධ්‍යට හොඳින් මුල් අල්ලා වර්ධන පටන්ගනී.

 

ලොකු ගසක් බඳුන්ගත කිරීම

වායු සිදුරු සහිත සම්මත ප්‍රමාණයේ (සෙන්ටිමීටර් 30 ) සකසා ගත් බඳුනේ ¼ ක් පමණ සෝදාගත් ගංගා වැලි කැට යොදන්න. බඳුනෙන් භාගයක් පමණ වන තෙක් මාධ්‍ය එකතු කරන්න. තෝරාගත් මව් ගස මාධ්‍ය මත බඳුනේ හරි මැදින් තබා ඔස්මකෝට් N තේ හැඳි 2 ක් පමණ ගස වටා විසිරෙන ලෙස යොදා පොහොර කැට සහ මුල් වැසෙන ලෙස මාධ්‍ය එකතු කරන්න.

පෙර පරිදි සකසාගත් දිලීර නාශක ගස සහ මාධ්‍ය සේදී සිදුරු තුළින් ගලායන ලෙස දමන්න. මේ ශාකය ද පෙර ලෙස 80%ක් සෙවණේ සති 2 ක පමණ තබා අවශ්‍ය පමණට ජලය සැපයීමෙන් මාධ්‍ය තුළ හොඳින් මුල් අල්ලා වර්ධනය වී මල් හටගැනීම සිදුවේ.

 

 

මයුරි ලසන්ති ප්‍රනාන්දු

රන්පත් ෆ්ලවර් නර්සරි රන්සිරි උයන

කොරතොට කඩුවෙල


Tharunie