Friday, May 17, 2024
Follow Us
ගෙදරටම ඇඹුල දෙන ගොරකා

ගොපලු දෙවියන් ගවමහේෂා දී කටයුතුවල දී ප්‍රධානත්වය ගන්නා දෙවියන් ය. ගවයන් රකින ගොපලු‍ දෙවියන් ආදරය කරන අපූරු ගසක් ගැන අපි අද සොයා බලමු. ඒ ගොරකාය.

ගවයන් රකින්නා යන අරුත් ඇති ගොරකා තමයි අද අපේ වගාව. අපිට ආහාර රසවත් කරන්න ඇඹුල් රසය ලබා දෙන එක් දෙයක් වන්නේ ගොරකා. මාළු ඇඹුල් තියල් ගොරකා නැතිව රසවත් කරන්න කොහොමටවත් ම බෑ කියලා දකුණේ ඇත්තෝ නම් හොඳාකාරවම දන්නවා.

රෝගවලට දිව ඔසුවක්

ඇඟේ බර අඩු කර ගන්න නොම්බර එකේ ස්වාභාවික අතිරේක ආහාරයක් ලෙස ගොරකා සලකනවා. ඒ වගේම ආහාර රුචිය ඇති කරන්නත් ගොරකා යොදාගන්නේ දෙවරක් නොසිතා යි. පණු අමාරුව සුවකිරීමටත් ගොරකා දිව ඔසුවක්. කොලෙස්ටරෝල් පාලනයට මෙන්ම හදවතටත් ගුණ දෙන ගොරකා ඔබේ ආහාරයට එකතු කරගන්න.

 

ශ්‍රී ලංකාවේ ගොරකා වර්ග හතරක් තිබෙනවා. ඒ

01. මළ ගොරකා

02. රතු ගොරකා

03. රට ගොරකා

04. එළ ගොරකා

ඒවායෙන් රතු ගොරකා හා මළ ගොරකා ආහාර රසවත් කිරීමට භාවිත කරනවා. දේශීය කෙම් ක්‍රම හා ශාන්තිකර්මවලටත් ගොරකා නැතිව ම බැහැ. ගොරකා ගහ හරක් පට්ටිය ආරක්ෂා කරන බවට පිළිගන්නා නිසාම ඔය කිරිපට්ටි කරන ඇත්තෝ නොවරදවා ම ගොරකා ගහක් වවාගන්නවාමයි. ආයුර්වේදයට අනුව නම්, ගොරකා ගහේ පංචාංගයම ඔසුවලට ගන්නවා. ඉතින් ඒසා විශාල වටිනාකමක් තිබෙන ගොරකා ගසක් ගෙවත්තේ සිටුවා ගත්තොත් මොකද?

 

ගොරකා ගහක් හිටවමු

දෙයියනේ! ඉඩමෙන් භාගයක් ම ගොරකා ගහට යට වෙනවා. අඩි හැත්තෑවක් අසූවක් විතර උසත් යනවා. ඒ මදිවට ඵලදාව ගන්න අවුරුදු හතක් අටක් විතර බලන් ඉන්නත් ඕනෙ. කාටද ඉතින් ගොරක ගහක් වවලා බලන් ඉන්න පුළුවන්.

ඉතින් මේ ගැටලුව විසඳගන්න අවුරුදු තුනෙන් අස්වැන්න දෙන පොඩි ඉඩමක වුණත් වගා කරගන්න පුළුවන් බද්ද ගොරකා පැළයක් හඳුන්වා දීලා තිබෙනවා. පර්චස් 10 ක ජීවත්වෙන ඔබටත් බොහොම පහසුවෙන් මේ බද්ද ගොරකා ගහක් ගෙවත්තේ හදාගන්න පුළුවන්. ලොකු උසක් නැති බද්ද ගොරකා ගහක් වවාගන්න මහා ලොකු විද්‍යාත්මක ක්‍රමවේදයක් නැහැ. සාමාන්‍ය පැළයක් හිටවන විදිහට හොඳින් වතුර බැසයන තැනක අඩි 3x3x3 වළක් කපා කොම්පෝස්ට් හා මතුපිට පස් පුරවා හිටවගන්න. හැබැයි අවුරුදු 3 – 5 ක කාලයක් යනකන් ගොරකා පැළයට සෙවණ අවශ්‍ය යි. තද හිරුඑළිය කෙළින් ම වැටීම ගොරක පැළයට ඒච්චර හොඳ නැති බවත් මතක තියාගන්න ඕනේ

 

වෙළෙඳපාළ

වර්තමානයේ ගොරකා සඳහා හොඳ විදේශීය වෙළෙඳපොළක් ඇති වී තිබෙනවා. විශේෂයෙන් ම ගොරකා කැප්සූල් ලෙස සකස් කර මේ වනවිට විදේශයට අපනයනය කරනවා. ශරීරයේ බර අඩුකරන අතිරේක ආහාරයක් විදියට අමෙරිකාවේ හා යුරෝපයේ කාන්තාවන් ගොරකාවලට මුල් තැනක් දෙනවා කියලාත් ආරංචියි. ගෘහණියක් ලෙස ඔබ, ඔබගේ පවුලේ සෞඛ්‍යය ගැන කල්පනා කරද්දී එදිනෙදා ඉහුම් පිහුම් කටයුතුවලට ගොරකා එකතු කරගන්න. ඒ වගේම ගොරකා ගසක් ගෙවත්තෙ හදාගන්නත් අමතක කරන්න එපා. ඒ විදිහට ඔබ ගොරකා ගහක් ගෙවත්තේ හදාගත්තොත් ගෙදර අවශ්‍යතාවට වගේම ඒවා විකුණා හොඳ ආදායමක් ලබා ගන්නත් පුළුවන්.

වැඩි විස්තර දැන ගන්න 0112877841 අංකයට කතා කරන්න. නැත්නම් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විදත් ලිපිනයට ලියන්න.

 

ඉදිරිපත් කිරීම

රන්සිලු වටවල

අධ්‍යක්ෂ සංවර්ධන,

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය

Tharunie