Friday, April 19, 2024
Follow Us
සොඳුරු ලෙස හැඩ වෙන්න හැඩැති ඇඳුමක අසිරිය මෙන්න

සොඳුරු ලෙස හැඩ වී උත්සව අවස්ථාවකට යන්නයි තරුණ ඔබේ කැමැත්ත. ඒ සඳහා ඔබේම අතින් මැසූ ඇඳුමකින් හැඩවෙන්නට හැකි නම් අගෙයි නේද? අද අප ඔබට ඒ අවස්ථාව උදා කර දෙමින් මේ ලස්සන ඇඳුම මසාගන්නා ආකාරය මෙලෙස ගෙන එනවා.

කළු පාට කෙටි බ්ලවුසය

 

අවශ්‍ය මිමි

උරහිස - අඟල් 16

කර වට - අඟල් 14 1/2

කර ගැඹුර - අඟල් 7

පපුව දක්වා උස - අඟල් 10 1/2

ඉණ දක්වා උස - අඟල් 15

පපුව වට - අඟල් 37

ඉණ වට - අඟල් 33

ඔපනැලි අතර පළල - අඟල් 7

 

මේ සම්පූර්ණ ඇඳුම කොටස් තුනකින් සමන්විත වේ. එහි ජැකට් එක ප්‍රින්සස් ලයින් හැඩයට මසා ඇති බැවින් පතරොමක් සාදාගත යුතුයි.

පතරොම සඳහා ඉදිරිපස නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එන පිළිතුරට අඟල් 1/2ක් එකතු කර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට පහතට අඟල් 1 3/4ක් පහත් කර A ලක්ෂයට යා කරන්න. එය AC වේ.

කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුර A සිට පහතට D ලකුණු කරන්න. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩු කර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය E වේ. DE යා කර මුලික කර අඳින්න. E සිට පහතට පපුව දක්වා උස හා ඉණ දක්වා උස පහත් කර හරහට රේඛා අඳින්න.

අත් කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස මිම්ම දෙකට බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාව අඳින්න.

අත් කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට මැහුම් වාසි එකතු කර අත් කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට ඩාට් සඳහා හා මැහුම් වාසි එකතු කර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. G හා I යා කරන්න. අත් කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත් කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍ය ලකුණු කරන්න. උරහිස් මිම්මෙන් අඟල් 1/2ක් අඩු කර ඉතිරි ප්‍රමාණය නැම්මෙ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂය කැපී යන සේ රේඛාවක් ඇඳ අත් කට වක්‍රය අඳින්න.

ඔපනැලි අතර පළල දෙකෙන් බෙදා එන පිළිතුර පපුව රේඛාවේ හරහට ලකුණු කරන්න. එය KL වේ. L සිට ඉණ රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය LM වේ. L සිට පපුව රේඛාවේ දෙපසට අඟල් 1 බැගින් ලක්ෂ්‍යය දෙකක් ලකුණු කරන්න. එය M හා P වේ. නැම්මේ සිට ඩාට් සඳහා අඟල් 1 ක් පහත් කර M ලක්ෂ්‍යයට යා කරන්න.

ඉණ මිම්මට එකතු කරන ලද ඩාට් පළල දෙකට බෙදා එම පිළිතුර M සිට දෙපසට ලකුණු කර L ට යා කරන්න.

අංශය පැත්තෙන් පපුව රේඛාවේ සිට පහතට අඟල් 1ක් පහත් කර P ලක්ෂ්‍යයට යා කරන්න.

කර ගැඹුර පහත් කර අත් කටට කර අඳින්න. මැහුම් වාසි තබාගන්න. කර ඇඳගත් පසු ප්‍රින්සස් ලයින් එක කැපීම සඳහා L සිට කරට කෙළින් ඉරක් අඳින්න. පතරොම තබා රෙදි කැපීමේදී මැහුම් වාසි තබා කපා ගත යුතුයි. ඉදිරිපස පතරොම වෙන් කිරීමට පෙර පසුපස පතරොම සාදාගන්න.

 

පසුපස

පසුපස පතරොම බලවාටියට ගෙන ඉදිරි පතරොම තබා ගන්න. ඉදිරිපස ඉණ රේඛාවෙන් අඟල් 1ක් උසින් අඩු කර ඉණ වට හතරෙන් බෙදා පමණක් ඉණ රේඛාවේ ලකුණු කරන්න. පසුපස කෝඩ් එක ගැට ගැසීම සඳහා අඟල් 2ක් පමණ කපා ඉවත් කර පසුකර ගැඹුර පහත්කර කර අඳින්න.

 

මැසීම

ඉදිරිපස ප්‍රින්සස් ලයින් එක මසාගන්න. අංශය මසන්න. කර පේෂීන් කරන්න. වාටිය මසාගන්න. ප්‍රින්සස් ලයින් එකට ඔබට අවශ්‍ය නම් වෙල්බොන් අල්ලාගත හැක.

 

අත් සහිත දිග බ්ලවුසය

 

අවශ්‍ය මිමි

 

උරහිස - අඟල් 16

කරවට - අඟල් 14 1/2

කර ගැඹුර - අඟල් 15

ඉණ දක්වා උස - අඟල් 15

උකුල දක්වා උස - අඟල් 23

උස - අඟල් 35

පපුව වට - අඟල් 37

ඉණ වට - අඟල් 34

උකුළ වට - අඟල් 40

අත දිග - අඟල් 11

අත අග වට - අඟල් 13

කප් උස - අඟල් 4

පතරොමේ අත් කට - අඟල් 10

 

ඉදිරිපස පතරොම සාදා ගැනීම සඳහා බලවාටියට තබාගන්න. බලවාටියේ සිට ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් භාගයක් එකතු කර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට පහතට අඟල් 1 3/4ක් පහත් කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩු කර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. D හා E යා කරන්න.

E සිට පහතට ඉණ දක්වා උස, උකුළ දක්වා උස හා සම්පූර්ණ උස පහත් කර හරහට රේඛා අඳින්න.

අත් කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස මිම්ම දෙකට බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාව අඳින්න.

අත් කට රේඛාවේ දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතු කර අත් කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතු කර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

උකුළ වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතු කර උකුල රේඛාවේ හරහට ලකුණු කරන්න. එය JK වේ. G, I, K අංශය යා කරන්න.

K සිට වාටිය රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය KL වේ. L සිට අඟල් 10ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පිටතට ලකුණු කර K ට යා කරන්න.

අත් කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත් කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩු කර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපී යන සේ රේඛාවක් ඇඳ අත් කට වක්‍රය අඳින්න.

E සිට පහළට කර ගැඹුර පහත් කර රූප සටහනේ පරිදි බලවාටිය දක්වා ඇඳගන්න. එතැන් සිට වාටියට හැඩේට මඳක් කපා ඉවත් කරන්න.

 

පසුපස

පසුපස සඳහා නැම්මට තබා ගන්න. ඉදිරිපස පතරොම නැම්ම මතින් තබා ඉදිරිපස උරහිසට සමාන්තරව අඟල් 1ක් උසින් වැඩි කරන්න. පසුපස ගැඹුර අඟල් 1 1/2ක් පමණ පහත් කර පසුපස පතරොම කපාගන්න.

 

අත

මූලික අත සඳහා නැම්මට නමා තබාගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. කප් උස හා අත උස පහතට පහත් කර හරහට රේඛා අඳින්න. මැහුම් වාසි සඳහා අඟල් 1 1/2ක් පහත් කර වාටිය රේඛාව අඳින්න.

පතරොමේ අත් කට නැම්මෙ මුදුනේ සිට අත් කට රේඛාවට හැඩේට ලකුණු කරන්න. එය AB වේ. අත අග වට ප්‍රමාණයට දෙකෙන් බෙදා එන පිළිතුරට මැහුම් වාසි එකතු කර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එය CD වේ. B හා D යා කරන්න. AB රේඛාවේ මැද ලක්ෂ්‍යය ගෙන අත් කට වක්‍රය අඳින්න.

 

මැසීම

උරහිස මසන්න. කර වටේ පයිපිං කර ගැට ගැසීම සඳහා පටියක් තබාගන්න. අත අල්ලා අංශය මසන්න. වාටිය මසන්න.

 

ෆ්ලෙයාඩ් සාය

 

අවශ්‍ය මිමි

ඉණ වට - අඟල් 33

උස - අඟල් 45

 

ෆ්ලෙයාඩ් සාය සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණය ගෙන එය පහතට දෙකට නමා නැවත ත්‍රිකෝණාකාරව නමන්න.

ඉණ වට ප්‍රමාණය තුනෙන් බෙදා එන පිළිතුරට රැලි සඳහා අඟල් 2ක් පමණ එකතු කර එය A සිට පහතට කවාකාරව ලකුණු කරන්න. එය AB වේ.

සම්පූර්ණ උසට AB පිළිතුර හා මැහුම් වාසි එකතු කර එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AC වේ. B හා C රේඛාවෙන් කපා ගන්න. ඉණට අඟල් 4ක් උස පටියක් කපා එය ඉලාස්ටික් කර අල්ලා ගන්න. අංශය මසා වාටිය මසාගන්න.

Tharunie