Wednesday, April 24, 2024
Follow Us
දරුවන් සිටින නිවෙසකට Study room එකක වැදගත්කම

දරුවෙක් පොතක් පතක් පාඩම් කරනු දැකීමම පවා නෙතට ප්‍රිය දසුනකි. ඉතිං පාඩම් කරන වයසේ ඉන්න, විභාග ආදියට මුහුණ දෙන දරුවෝ පමණක් නොව වැඩිහිටියෝ වුණත් ඉන්න නිවෙසක නිස්කලංක වටපිටාවකින් යුතු ඉගෙනුම් කාමරයක් එහෙමත් නැතිනම් Study room එකක් තිබීම වැදගත්.

දරුවන්ගේ කාමරයේ (Kids Room) පැත්තක් මේ සඳහා ගන්නත් පුළුවන්. නිවෙසේ වෙනමම කාමරයක් ඊට සරිලන පරිදි සකස් කරන්නත් පුළුවන්. මේ සඳහා විසිත්ත කාමරය අසල, මුළුතැන්ගෙය අසල වැනි තැන් යොදා ගැනීම එතරම් සුදුසු නැහැ.

ආලෝකය

උදේ දහවල හවස කාලයේ දී හැකි පමණින් සුර්යාලෝකයේ උපරිම ප්‍රයෝජන ගත හැකි පරිද්දෙන් මේ කාමරය සකසා ගත යුතුයි. L,U යනාදි හැඩයට බිත්තියටම පාඩම් කරන මේසය එන පරිදි සකසා ගත හැකියි. මේ ඡායාරූප දෙස බලද්දී ඔබට එය හොඳින්ම වැටහේවි.

කබඩ් ගසා ගැනීම

Study room එකක කඩබ් ගසා ගැනීම පැන්ට්‍රි කබඩ් සාදන අන්දමින්ම සකසා ගත හැකියි.

මේ කබඩ් එළියට නොපෙනෙන පරිදි දොරවල් දැමිය යුතුයි. ඒ නිරන්තරයෙන්ම දරුවන් පොත්පත් පිළිවෙළටම නොතබන නිසා පිටතට අපිළිවෙල ගතිය පෙනෙන නිසයි. කබඩ් එකක් දෙකක් අලංකාරය පිණිස වීදුරුවක් දමන්නටත් පුළුවනි. එවැනි කඩබ්වල Hard Cover ඇති පොත්, දරුවා දිනාගත් කුසලාන, පදක්කම් ආදිය අසුරා තැබිය හැකියි. ඒවා පිටතට අලංකාරීත්වයෙන් දිස් වෙනවා.

දරුවා පාඩම් කරන මේසය අසල ලැප්ටොප්, ටැබ්, පරිගණකය ආදිය තබන්නට, පොත් පත් දිග හැරගෙන පාඩම් කරන්නට ඉඩ හසර තිබිය යුතුයි. පාඩම් මේසයේ Cup Hole එනම් පරිගණක ආදියේ වයර් යනාදිය යැවීමට සිදුරක් සාදා ගත යුතුයි. දරුවන් දෙදෙනෙක් සිටිය නම් වෙන වෙනම මේවා සකස් කළ යුතුයි. දරුවන් දෙදෙනා අතර යම් පරතරයක් තැබීමටත් අමතක නොකරන්න.

මෙහි ස්විච් ආදිය මේසයේ මට්ටමින්ම ඇත්තම් ඒවා ක්‍රියාකරවීම (On / OFF)වඩාත් පහසුයි.

ලිපි ද්‍රව්‍ය තැබීමට ලාච්චු පෑන්, පැන්සල් ඇතුළු

ලිපිද්‍රව්‍ය ආදිය ඇසිරීමට පැන්ට්‍රි කබඩ්වල පිළිවෙළටම ලාච්චු දැමිය හැකියි. ඉහළින්ම ඇති ලාච්චුව ඊට වඩාත් සුදුසුයි. මේසයට පැත්තෙන් ඉහළින් ඇති කබඩ්වල පොත්පත් අසුරා තබන්නට පුළුවන්. Pen Holder ආදියේ පාඩම් කරන වෙලාවට අවශ්‍ය පෑන්, පැන්සල් තැබීමට පුළුවනි.

ජනේලයක් අසල

පාඩම් කරන මේසය ජනේලයක් අසලින් තබන්න පුළුවන් නම් වාසි රැසක්ම ගෙනදේවි. ස්වභාවික ආලෝකය, වාතාශ්‍රය මනාව ලැබිය හැකිය. පාඩම් කරන දරුවාගේ විඩාබර දෙනෙතට රසඳුනක් ගෙනෙන පරිදි ඉදිරියේ ගස් කොළන් තිබේ නම් බැලු බැලු අත ඇත්තේ හරිත පරිසරයක් නම් පාඩම් කළ දෑ මනසින් මෙනෙහි කරන්නට අපූරු තෝතැන්නක් වේ.

White Board

Study room එකක වයිට් බෝඩ් එකක් හෝ කළු ලෑල්ලක් එල්ලා තැබිය හැකියි. ඇතැම් දරුවන් උගන්වමින් තමා පාඩම් කළ දෑ නැවත මෙනෙහි කරයි. මෙය වඩාත් සාර්ථක ඉගෙනුම් ක්‍රියාවලියකි. වයිට් බෝඩ් එක අසලම මාකර් පෑන්, ඩස්ටරය යනාදිය තැබීමට කුඩා රාක්කයක් ගැසිය යුතුයි.

දරුවාට අවශ්‍යම කරුණු කෙටි සටහන්, වගු, දත්ත සටහන් ප්‍රස්ථාර ආදියත් මතක තබා ගන්නට අවශ්‍ය කරුණු බිත්තියේ ගැසීීමට වෙනමම බෝඩ් එකක් දමා ඩ්‍රොයින් පින්ස් ආදියෙන් රඳවා තැබීමට පුළුවනි.

බිත්තිවල පැහැය

මෙවැනි කාමරයක බිත්තිවල ආලේප කරන පැහැයන් ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. සුදු පැහැය නම් වඩාත් කදිමට ගැළපේවි.

 

උපදෙස්

ප්‍රවීණ ගෘහ අලංකරණ නිර්මාණ ශිල්පිනි

ආචාර්ය දිලිනි හල්විටිගලගෙනි

ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

(Tharunie)