Tuesday, April 16, 2024
Follow Us
ගෑස් ළිපට විකල්ප විසඳුමක් දර වායු ළිප

මෝටරයක් සවි කළ ළිපේ වාසිය වන්නේ එය ඉතා පහසුවෙන් ක්‍රියා කිරීමයි

ගෑස් හිඟයත් සමඟ ඇති වූයේ ගැටලු රැසකි. ඒ සඳහා භූමිතෙල් ළිප විකල්පයක් ලෙසින් යොදා ගැනීමට බොහෝ ගෘහණියන් යොමු විය. එයද සාර්ථක නොවන විකල්පයක් බවට පත්වූයේ භූමිතෙල් හිඟයද ඇති වූ පසුවය. ගෑස් හිඟයට හා භූමිතෙල් නොමැතිව ආහාර පිසීමට ඇති විසඳුම වන්නේ දර ළිපය. එහෙත් දර ළිපද පාවිච්චි කරන්නට දර ළිපක් සාදාගත යුතුය. එසේ සාදා ගත්තත් ඉන්පසුව දැලි කුණු නිසා එයින් ද ඇති වන්නේ ගැටලු රැසකි.

 

නමුත් අපට දර ටිකක් කෙසේ හෝ සොයා ගැනීමේ හැකියාවක් පවතී. දැලි කුණු නැතිව ආහාර උයන උදුනක් තිබේ නම් ඔබේ උත්සාහය සාර්ථකය. නර්ඩ් ආයතනය හඳුන්වාදෙන දර වායු ළිප මෙයට හොඳම විසදුමයි. මේ දිනවල අපගේ ගෘහණියන් මෙවැනි දේ ගැන වඩාත් උනන්දුය. ඒ නිසාම අප මේ දර ළිප පිළිබඳ නර්ඩ් ආයතනයේ විමසුවේ ඒ ගැන වඩාත් හොඳින් දැන ගැනීමේ අපේක්ෂාවෙනි. නර්ඩ් ආයතනයේ අලෙවි අංශයේ සහකාර අධ්‍යක්ෂිකා දිල්රුක්ෂි පතිරණ මහත්මිය එම උදුන ගැන ඉතා හොඳින් අපට පැහැදිලි කළේ මෙලෙසිනි.

 

"මේ ළිප අප හඳුන්වන්නේ දර වායු ළිප ලෙසයි. මේ සඳහා යොදා ගන්නේ කුඩා දර කැබැලි අඩු ප්‍රමාණයක්. මේ ළිපට කුඩා දර කැබැලි ග්‍රෑම් 500ක් දමන්න පුළුවන්. එසේ කුඩා දර කැබැලි ළිපට දමා ළිපේ උඩ කොටසින් ගිනි දැල්විය යුතුයි. මෙලෙස දර අවුලා ගත් පසු මේ ළිප විනාඩි 40 - 45කාලයක් හොඳින් දහනයවීම සිදු වෙයි. මේ කාලය තුළ අපට බතක් ව්‍යාංජනයක් ඉතාම හොඳින් පිස ගැනීමේ හැකියාව පවතී.

 

මෙලෙසින් සකස් කළ දර වායු ළිප් වර්ග දෙකකි. ඉන් එක් ළිපක් සඳහා මෝටරයක් යොදාගෙන දහනය සිදුවන අතර සාමාන්‍ය දර වායු ළිප සඳහා මෝටරයක් සවිකර නොමැත. මෝටරයක් සවි කළ ළිපේ වාසිය වන්නේ එය ඉතා පහසුවෙන් ක්‍රියා කිරීමයි. එසේම අළු ටික ද පහසුවෙන් ඉවත් කළ හැකි වන අතර එහි සම්පූර්ණ දහනයක් ද සිදු වෙයි. නමුත් සාමාන්‍ය දර වායු ළිප සඳහා මෝටරයක් නොමැතිවුවත් හොඳ දහනයක් සිදුවෙයි. ඉහළ ආරක්ෂාවක් හා කල් පැවැත්මක් ඇති මේ උදුන නිර්මාණය කර තිබෙන්නේ නර්ඩ් ආයතනය මඟින් කළ පරීක්ෂණවලට අනුකූලවයි. මේ උදුන අඩි 1 1/2ක් තරම් උසක් ඇති අතර නොපෙරෙලෙන ලෙසින් ඉතාම සුරක්ෂිත ආකාරයට සකස් කර තිබීම ද විශේෂත්වයකි. මෙහි අධික තාපය හා දුමට නිරාවරණයවීම අවම ලෙසින් සකස් කර තිබෙන්නේ නාගරික නිවාසයකට පවා ගැළපෙන ලෙසිනි. දුමද ඉතාම අවමයි. ආහාර අළු දැලි ආදිය මිශ්‍ර නොවීමද මෙහි ඇති අමතර වාසියකි."

ඔබටත් මේ උදුන පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් තරුණී කර්තෘ මණ්ඩලයේ දුරකතන අංක 011-2429592 අංකයට අමතන්න.

(Tharunie)