Friday, April 26, 2024
Follow Us
නිවෙස හැඩකරන්න ඩෙනිම් මල් බඳුනක්

හැමෝම අඳින්න කැමැති ඇඳුමක් තමයි ඩෙනිම් කලිසම. අවුරුදු ගාණක් අඳින්නට හැකි ඩෙනිම් කලිසම් පරණ වූ විට ඉවත දමනවා. ඒත් ඔබ නිර්මාණශීලී නම් පරණ ඩෙනිම් ඉවත නොදමා ඒවායින් ප්‍රයෝජන ගන්නට හැකියි.

බෑග්, පාවහන්, පාපිසි, පොත් කවර, කුෂන්, ඇඳ රෙදි, ටේබල් මැට්, බිත්ති සැරසිලි ආදිය පරණ ඩෙනිම්වලින් නිර්මාණය කළ හැකියි. මේ කියාදෙන්නට යන්නේ ඩෙනිම්වලින් මල් බඳුනක් නිර්මාණය කරගන්නා ආකාරයයි.

 

අවශ්‍ය දේවල්

පරණ ඩෙනිම් කලිසමක්

පබළු

කට පළල, මිටි වීදුරු බෝතලයක් හෝ

වීදුරු මල් බඳුනක්

රිබන් කොටසක්

ගෙජ් කම්බි

හොට් ග්ලූ ගන්

කතුර

 

නිර්මාණය කිරීම

පළමුව අපි වීදුරු බෝතලය ආවරණය කරන කවරය සකසමු. ඒ සඳහා බෝතලයේ උඩට වඩා ටිකක් උසට කලිසමේ පහළින් කකුලෙන් කොටසක් කපාගන්න. අංක 1 රූපය බලන්න. කැපූ පැත්තේ කොටස් දෙක හොට් ග්ලූ ගන් යොදා අලවා ගන්න. නැත්නම් එය මසා හොඳ පිට හරවා ගන්න. අංක 2 රූපය බලන්න. එය ඇතුළට බෝතලය බස්සවා පසුව බෝතලයේ කට වටේට වන්නට කලිසම් කවරයේ වටේට රිබන් එක ගැටගසා වැඩිපුර ඇති රිබන් කොටස් හැඩයට කපාගන්න. අංක 3, 4, 5 හා 6 රූප බලන්න.

දැන් අපි මල් සකසමු

මේ සඳහා සෙන්ටිමීටර් 20ක් දිගට සෙන්ටිමීටර් 3ක් පළලට පටි කපාගන්න. දැන් එම පටිය දෙකට, හතරට, අටට ආදී ලෙස නමාගන්න. පසුව කතුරෙන් එම පටියේ එක් පැත්තක් මලක පෙති ආකාරයට දිසවන්නට දැති හැඩයට කපාගන්න. අංක 7, 8 හා 9 රූප බලන්න. එම පටිය දිගහැරි පසු අංක 10 රූපයේ ආකාරයට දිස් වේවි.

දැන් හොට් ග්ලූ ගන් පටිය පහළින් ගල්වමින් එය මලක ආකාරයට රෝල් කරගන්න. එහි උඩින් මල් පෙති ආකාරයට නමන්න. අංක 11, 12, 13 හා 14 රූප බලන්න. දැන් කම්බි කොටසක් ගෙන එහි උඩ කොටස රවුමට රෝල්කර පැතැලි කරගන්න. සාදාගත් මලේ අඩියේ හොට් ග්ලූ ගන් යොදා කම්බි කොටසේ අලවා ගන්න. අංක 15 හා 16 රූප බලන්න. දැන් මල සාදා අවසන්. එම කම්බිවල අවශ්‍ය නම් ගම්ටේප් අලවා ගන්න. ඒ ආකාරයට මල් අවශ්‍ය පමණ සකසා ගන්න. වෙනත් පැහැයක රෙදි භාවිතයෙන් ද මේ ආකාරයටම මල් කිහිපයක් සකසා ගන්න. ඩෙනිම් රෙදිවලින් ම කොළ කපා කම්බිවල අලවා සකසා ගන්න. මෙලෙස සකසා ගත් මල් හා කොළ එකතුකර පොකුරක් ආකාරයට සකසාගන්න. දැන් එය පළමුව සකසා ගත් මල් බඳුනට දමා ලස්සනට සකසන්න. එය නිවෙසේ ඔබට කැමැති ස්ථානයකින් තබා හැඩකර ගන්න.

(Tharunie)