Friday, April 19, 2024
Follow Us
පැළ වැඩියෙන් ලැබෙන්න මෙලෙස ගසක් ‘ කට්’ කරන්න

දවසින් දවස ආර්ථිකය අසීරු අඩියක් වෙත යනවා. ඒ අසීරුතාවට අභියෝග කර ජයගන්න ඔබටත් පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔබේ කැපවීමයි. අතමිට සරුකරන ඇන්තූරියම් වගාව රැකියාවක් නොකරන ඔබට අමතර ආදායමක් ලැබීමට හැකි මාර්ගයකි.

අපොස උසස් පෙළ හදාරන, උසස් අධ්‍යාපනය හදාරන දියණියන්ට වාගේම පුතාලටත් ඇන්තූරියම් වගාවේ නියැළීමෙන් අම්මාට තාත්තාට බරක් නොවී තමන්ගේ වියදම සොයාගන්නට හැකියි.

අද අපේ කතාබහ ඇන්තූරියම් පැළ වැඩි ප්‍රමාණයක් ලබාගන්නට හැකි එනම් පැළ බෝකරගත හැකි ක්‍රම පිළිබඳයි.

ඇන්තූරියම් ශාකයකින් අපට ක්‍රම පහකට පැළ ලබාගත හැකියි. එනම්,

1. කක්ෂීය අංකුර මඟින් - අගිස්ස කොටස කඳින් වෙන්කළ පසු (කට් කිරීමෙන්)

2. වර්ධක අංකුර - කඳ කැබලි මඟින්

3. පාර්ශ්වික අංකුර - මො‍ෙටයියන් මඟින්

4. බීජ පරාගනයෙන් ලබා ගන්නා පැළ

5. පටක රෝපණ අංකුර - විද්‍යානුකුල ක්‍රම මඟින් රසායනාගාරයක් තුළ ලබාගන්නා පැළ

 

කට් කිරීම

කක්ෂීය අංකුර මඟින් හෙවත් අගිස්ස කොටස කඳින් වෙන්කර පැළ ලබාගන්නා ක්‍රමය ඇන්තූරියම් වගාවේ නියැළෙන අය අතර හැඳින්වෙන්නේ කට් කිරීම ලෙසයි. කට් කිරීම සඳහා සුදුසු ගස් පිළිබඳ දැනුම අපි ඔබට ලබා දී ඇත.

ඒ සඳහා සුදුසු ශාකයක් තෝරා ගත් පසු එයට මාසෙකට දෙකකට කලින් ඉඳන්ම හොඳට සාත්තු කළ යුතුයි. කහ වුණු කොළ හා පරණ මල් කපා දමා ඔස්මොකොට් N යොදා ගහ කට් කරන්න සූදානම් කළ යුතුයි. මේ සඳහා තෝරාගන්නා ගහ ගොඩාක් මෝරපු ගහක්ම විය යුතු නැත. අත්දැකීම්වලට අනුව වැඩි වයසක් නැති ළාබාල ගහක් කට් කළවිට ලැබෙන පැළ ප්‍රමාණය වැඩියි. ඒ වගේම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් කට් කළාම ටොප් එක හෙවත් උඩ කොටස මැරෙන එක. ඒත් වැඩිය කඳ මෝරපු නැති ගහක් ගත්තම ඒ වගේ ප්‍රශ්න ගොඩාක් දුරට අඩුයි.

 

අවශ්‍ය දේවල්

ගහ කට් කරන්න පටන් ගන්න කලින් හොඳින් කැපෙන පිහියක් හෝ බ්ලේඩ් එකක් අපි සූදානම් කරගන්න ඕනේ. ඔබ භාවිත කරන පිහිය හොඳින් දිලීර නාශකයක් යොදා පිරිසුදු කර ගැනීම අනිවාර්යයි. ඒ වගේම කැප්ටාන් කියන දිලීර නාශකය ටිකක් දීසියකට දමා වතුර සමඟ මිශ්‍ර කර පාප්ප පදමට හදාගන්න. දිලීර නාශක ආලේප කිරීමට පින්සලක්, කට් කළ උඩ කොටස සිටුවා ගැනීමට වගා මාධ්‍ය මිශ්‍රණය හා ඒ සඳහා සුදුසු බඳුනක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව ජලය සහිත මල් බාල්දියක්, දිලීර නාශක දිය කරගත් වතුර සහිත මල් බාල්දියක් හා ඔබේ දෑතට දමා ගැනීමට පහසු අත්වැසුම් දෙකක් අවශ්‍ය වේ.

කොහොමද කරන්නේ?

දැන් හොඳින් පිරිසුදු කරගත් පිහියෙන් තෝරාගත්ත ගහේ උඩ කොටසට හෙවත් කරටිය කොළ දෙක තුනක් සමඟ මුල් හිටින්නත් බඳුනේ ඉතිරි වෙන කොටසට අඩුම තරමේ එක් කොළයක් ඉතිරි වන්නටත් හැර ඇලයට කපාගන්න. පහළ ඉතිරි වෙන කොටසට කොළ දෙක තුනක් ඉතිරි කරන්න තරම් කොළ තිබේ නම් ඉතිරි කරන්න. කපා වෙන්කර ගන්නා උඩ කොටසේ අවම වශයෙන් එක් මුලක් වත් තිබිය යුතුයි. මෙලෙස කපන කැපුම අනිවාර්යයෙන්ම ඇලයට කැපීමට වග බලාගන්න. එලෙස ඇලයට කපන්නේ ගසේ රැකවරණය වෙනුවෙනි. එමඟින් කැපූ කඳ කොටසට ජලය ලැබීමේ දී එම ජලය පහසුවෙන් පහළට ගලායාම හේතුවෙන් කැපූ කොටස කුණුවීමකට ලක් නොවේ

දැන් ඔබ කපාගත් උඩ කොටසේ කැපුම් තලය මතත් බඳුනේ ඉතිරි වුණු කැපුම් තලය මතත් කලින් සාදාගත් කැප්ටාන් මිශ්‍රණය පින්සලක් මඟින් හොඳින් ආලේප කරන්න. මේ කැපුමට විවිධ දිලීර නාශක භාවිත කරනවා. ඒ වගේම මේ කැපුම් තලය මත දිලීර නාශක වෙනුවට ලැකර් ද ආලේප කළ හැකියි. එලෙස කට් කර අඩුම තරමේ සති දෙකක්වත් 100% සෙවණේ වැස්සට නොතෙමී ආරක්ෂිත ස්ථානයක තබන්න. සති කිහිපයක් ගතවීමේ දී ශාකයේ අග කොටස සහිත බඳුනේ කඳ කොටස ආශ්‍රිතව කුඩා අංකුර මතු වී ඇති අයුරු දැකිය හැකියි.

 

කපා වෙන්කර ගත් කොටස

කපා වෙන්කරගත් කරටිය කොටස ගොරෝසු ගඟේ වැලි කැට සහ කුඩා පොල් ලෙලි මිශ්‍ර වූ මාධ්‍යයේ සිටුවා එයට ඔස්මකෝට් N කැට පොහොර යොදා ඉන් අනතුරුව සුදුසු දිලීර නාශකයක් ජලය සමඟ මිශ්‍රකර සකසාගත් ජලය ශාකය තෙමී බේරී ඉවතට යන පරිදි යොදන්න. මේ ආකාරයෙන් සිටුවා ගන්නා ලද කරටිය කොටස සහිත බඳුන සහ ඉතිරි කොටස සහිත බඳුන හිරු එළිය නොවැටෙන ස්ථානයක තැබිය යුතුය.

 

හටගන්නා පැළ

සතියකින් දෙකකින් පමණ අංකුර මතුවී තිබෙන ආකාරය දැකිය හැකියි. මාස දෙක තුනක් යන විට පැළ ලොකුවේ. එයින් ක්‍රමානුකුලව ගලවා ගන්නා ලද පැළ නැවත සිටුවීමේ දී ගොරෝසු ගඟේ වැලි කැට සහ කුඩා පොල් ලෙලි කැබලි මිශ්‍ර වූ මාධ්‍යයක පැළය සිටුවා එයට Osmocote N Puls කැට 10 ක් පමණ යොදන්න. ඉන්පසු දිලීර නාශක මිශ්‍ර ජලය මාධ්‍ය තෙමී, ජලය බැසයන පරිදි යොදන්න. පැළ සිටුවීමට පෙර මුල් සහිත කොටස මත ඒ සඳහා හිතකර දිලීර නාශකයක් යෙදිය යුතුය. මේ ආකාරයෙන් හටගන්නා පැළ පඳුරුවල ඇති පැළ සිටුවීම මඟින් එම පැළ ඉතා හොඳින් වර්ධනය වේ.

උපදෙස් -

මාතලේ යෝ ෆ්ලවර්ස් හි හිමිකරු

යොහාන් මීගහගේ

(Tharunie)