Thursday, April 18, 2024
Follow Us
Open Plan ක්‍රමයට සැලසුම් කළ මුළුතැන්ගෙය ප්‍රායෝගික නැද්ද?

මෙන්න ඒ සඳහා විකල්ප

දවසක් සසංකා එයාගේ මිතුරියක වන මහේෂිගේ නිවෙසට ගියේ හදිසියෙන්, දැනුම්දීමකින් තොරවම. සසංකා යද්දී මහේෂි උයනවා. මුළු කුස්සියම වනා ගෙන මහේෂිට තිබුණේ අලුත්ම සැලසුමකට අනුව ඉදි කළ නවීන පන්නයේ නිවෙසක්. රැකියාවකට නොයන නිසා මහේෂි අතින්මයි නිවෙසේ බොහොමයක් කර්තව්‍යයන් සිදු කෙරුණේ.

 

මහේෂි මුළුතැන්ගෙය Open Plan ක්‍රමයටයි සැලසුම් කරලා තිබුණේ. විසිත්ත කාමරයේ සිටින කෙනකුට කෑම කාමරය, මුළුතැන්ගෙය මේ දේවල් මුළුමනින්ම දිස්වෙනවා. මහේෂි තරමක් අපිළිවෙල කෙනෙක්. සිත්ගන්නා සුළු නිවෙසක් තිබුණත් එය පිරිසුදුවට, පිළිවෙළට තැබීමේ කටයුත්ත ඈ අතින්ම නියමාකාරයෙන් වෙන්නෙ නැහැ. සසංකාට හීල්ලුණා. අනේ මට මේ වගේ නිවෙසක්, මුළුතැන්ගෙයක් තිබුණා නම් මම මේ මේ විදිහට තියාගන්නවා කියලා ඇය හිතෙන් හිතුවා.

ඒ වෙලාවේ මහේෂි හිටියෙත් මාළු වගයක් ශුද්ධ කර කර. මාළු පිළීගඳ විසිත්ත කාමරයට ම හමනවා.

Open Plan ක්‍රමයට නිවෙසක් සැලසුම් කරද්දි හරිම සරලයි. අඩු ඉඩකඩක් ඇති නිවෙසකට හොඳ විකල්පයක්. නමුත් ඇතැම් අවස්ථාවලදී එය ප්‍රායෝගික නොවන අවස්ථාත් තිබෙනවා.

 

තුනපහ, මිරිස්කුඩු බදිද්දී

අපේ කෑම කලාව පෙරදිග රටවලට ම ආවේණික වූවක්. මිරිස්, තුනපහ ඇතුළු ස්වාභාවික රසකාරක වර්ග කෑමට එකතු කරන නිසා අපේ කෑම පිසිද්දි නාස්පුඩු සිසාරා යන සුවඳක් විහිදෙන්නේ. සමහර ව්‍යාංජනවලට මිරිස්, තුනපහ බැදලා දාන නිසා කැස්සක් එන්න පුළුවන්.

 

එදා තිබුණු පිළිකන්න

එදා අපේ මුළුතැන්ගෙයින් පිටතට අනිවාර්යයෙන් දොරක් තිබුණා. ඒ දොරෙන් එපිට පිළිකන්නකුත් තිබුණා. පිළිකන්න අසල බිම හරිම සාරවත් තැනක්. කොහිල වගේ ජලය අවශ්‍යම කරන භෝගවර්ගත් වගා කරලා තිබුණා. මස්, මාළු ශුද්ධ කරද්දි මේ වතුර දැම්මේ පිළිකන්නට.

ගැමි මුළුතැන් ගෙවල්වල ඉඩකඩ ඇති භූමියක් ඇති නිවෙස්වල තවමත් පිළිකන්න තිබෙනවා.

 

සතියෙම එළවළු, මස් මාළු එකම දවසක ඇසිරීම

සාමාන්‍ය මුළුතැන්ගෙයක් තිබෙද්දි මස්, මාළු සෝදන වතුර සින්ක් එකෙන් ම පිට කළ යුතු නිසා එය හරිම සීරුමාරුවට කළ යුතුයි. කොටස් දෙකක් සහිත සින්ක් එකක් ඇතිවිට එක් කොටසක මස්, මාළු දමා සින්ක් එකේ සමතලා කොටසේ ලෑල්ලක් තබාගෙන මේවා ශුද්ධ කරන්න පුළුවන්. ඉවත් කරන කොටස් වෙනමම පෙට්ටියක හෝ බෑග් එකකට දමන්න පුළුවන්. සතියකට ම අවශ්‍ය මස්, මාළු එකවර ගෙනැවිත් සෝදා පිරිසුදු කර එක් එක් දවසට අවශ්‍ය ප්‍රමාණය වෙන වෙනම පෙට්ටිවල අසුරන්න පුළුවන්.

Open Plan ක්‍රමයට ඉදිවෙන මුළුතැන්ගෙවල් ඇත්නම් මේ ක්‍රමය හරිම ප්‍රායෝගිකයි. එළවළු වගේ දේවල් වුණත් ඒ විදිහට ඇසුරුම් කරන්න පුළුවන්.

එවිට උයමින් ඉඳිද්දී අමුත්තෝ නිවෙසට ආවත්, කෑමට අමුත්තෙක් ආවත් හරිම පහසුයි.

නිතර නිතර අමුත්තන් පැමිණෙන නිවෙසකට නම් Open Plan ක්‍රමයට එතරම්ම ප්‍රායෝගික නොවන්නත් පුළුවන්. සමහරු කෑම ඉදෙද්දී හමන සුවඳට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ සියල්ලක් ම Open Plan ක්‍රමයට ප්‍රායෝගික නොවන අවස්ථා.

 

වීදුරුවකින් වෙන්වුණ මුළුතැන්ගෙය

දැන් දැන් ඉදිවෙන අලුත්ම පන්නයේ මහල් නිවාස (Apartment)වල විසිත්ත කාමරයත්, කෑම කාමරයත් සමඟ තිබෙන මුළුතැන්ගෙය, වීදුරුවකින් වෙන්වෙනවා. භාගයක් පමණ ප්‍රමාණයකට තාප්පයක් බැඳ ඉතිරි කොටසට වීදුරුවක් දමනවා. මේ සඳහා වීදුරුවක්ම දැමූ Sliding door එකක් දමන්න පුළුවන්. බැලූ බැල්මට මුළුතැන්ගෙය එකම මානයක පෙනුණත් සැබෑවට ම වෙන්වෙලයි තිබෙන්නේ. මේ ක්‍රමයට අනුගතවන්නේ ආහාර පිසිද්දි අපේ මුළුතැන්ගෙවල්වලින් හමන විවිධාකාර ගන්ධයන් නිසාමයි. මේ මුළුතැන්ගෙයත් එක්කම ගබඩා කාමරයත් සැලසුම් කරන්න පුළුවන්. ඒ නිවෙසේ සර්වන්ට් රූම්, සර්වන්ට් බාත්රූම් එකක් ඇත්නම් එයත් ඒ අසලින්ම තබා පිටතට යෑමට දොරකුත් දාන්න පුළුවන්.

අපේ ගෘහණියෝ සාමාන්‍යයෙන් උයද්දි හැමදේම පිටතට අරන් උයලා අවසන් වෙද්දි ඒ ඒ තැන්වල ඒ දේවල් තියන්නයි පුරුදු වෙලා තියෙන්නේ. Open Plan ක්‍රමයට හදන මුළුතැන්ගෙයක මේ දේවල් හරිම අපිළිවෙළට පේන්නේ.

 

අපද්‍රව්‍ය ඉවතලීම

මුළුතැන්ගෙයි ඉවතලන අපද්‍රව්‍ය එහෙමත් කුණු පිළිබඳ අපට හොඳින් ම හිතන්න වෙනවා. අපද්‍රව්‍ය බඳුන්වල පියනක් තිබීම අනිවාර්යයි. කකුලෙන් පාගනවිට පියන විවෘතවන කසල බඳුන් (Foot Operated dustbin) තිබීම හරිම ප්‍රායෝගිකයි. පැන්ට්‍රි කබඩ් එකේ සින්ක් එක කොටසේ කසල බඳුන සවි කිරීමත් දැන් බොහෝ නිවෙස්වල පැන්ට්‍රිය සැලසුම් කරද්දීම වෙන දෙයක්. මෙහිදී එතැන දොර ඇරෙන විටම කසල බඳුනේ පියන විවෘත වෙනවා. උයන පිහන කටයුතු සිදු කරද්දී එකතුවන අල,‍ ලූනු, සුදුලූනු පොතු යනාදිය කුඩා පෙට්ටියක දමා එවෙලේම පැන්ට්‍රියේ තබා ඇති කසල බඳුනට දමන්න පුළුවන්. එසේ නොමැති වුණත් සින්ක් එක ඇතුළේ ඇති කබඩ් එකේ පියනක් සහිත කසල බඳුන් තියන්න පුළුවන්. මෙතැනම විසබීජ නාශක, සබන්, සේදුම් කුඩු, දියර... මේ ආදී දේවල් තියන්නත් පුළුවන්.

මේ ලෙසට සැලසුම් කරන මුළුතැන්ගෙයක පිටතට පෙනෙන්න කිසිවක් නැහැ. බැලූ බැල්මට හරිම පිරිසුදුයි, පිළිවෙළයි. ඉවුම් පිහුම් කටයුතුවල යෙදෙද්දී අමතර කාලයක් වැය නොකොට හරිම පහසුවෙන් ඒ කටයුත්ත කරගන්න පුළුවන්.

උපදෙස්

ප්‍රවීණ ගෘහ අලංකරණ නිර්මාණ ශිල්පිනි

ආචාර්ය දිලිනි හල්විටිගලගෙනි

(Tharunie)