Saturday, April 27, 2024
Follow Us
මැෂිමේ පීඩාකාරී ඝෝෂාවට තිත තියමු

මැෂිමට නිවැරැදිව තෙල් යෙදීමෙන් ප්‍රතිලාභ බොහොමයි

මහන මැෂිමේ අධික ශබ්දයක් ඇතිවීමට හේතු පිළිබඳ අපි පසුගිය කලාපයෙන් විමසීමට ලක් කළා. එම තත්ත්වය නිරවුල් මැස්මකට වගේම නිරවුල් මානසිකත්වයට ද එකසේ බලපානු ලබනවා. එබැවින් සියල්ලට පළමුව එම දෝෂ නිවැරැදි කරගත යුතුයි. මෙහිදී පළමුවෙන්ම මහන මැෂිමේ මතුපිට සහ යට කොටසේ ඇඳී ඇති දූවිලි, නූල් කැබැලි, කුඩා රෙදි කැබැලි, ඉඳිකටු කැබැලි ආදිය ඉවත් කරගත යුතු වෙනවා. මේ සඳහාම වන බුරුසු වෙළෙඳපොළේ මිලදී ගැනීමට පවතින අතර, පිරිසුදු රෙදි කැබැල්ලකුත් මේ සමඟම භාවිත කළ යුතුයි. මෙම පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය වැඩ ඇරැඹීමට පෙර සහ පසු සිදු කිරීමෙන් මහන මැෂිමේ ආයු කාලය දීර්ඝ කරගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

මෙයට අමතරව ශබ්දයට සහ ක්‍රියාකරිත්වයට බාධා කරන තවත් කරුණක් ගැන පසුගිය සතියේ සඳහන් කළා. ඒ තමයි, මැෂිමට දමන තෙල් කැටි ගැසී තිබීම කියන කාරණය. අනිත් සෑම මැෂිමකට වගේම මහන මැෂිමටත් තෙල් දාන්න ඕනෙ. සෑම දිනකම උදෑසන වාහනයක තෙල් මට්ටම පරීක්ෂා කර බලනවා වගේ ම සෑම දිනකම වැඩ ආරම්භ කිරීමට ප්‍රථම මැෂිමේ තෙල් සැපයුම පිළිබඳ පරීක්ෂා කිරීම හරිම වැදගත් කාරණාවක්. මහන මැෂිමට තෙල් සැපයීම සඳහා මැෂිමේ යට කොටසේ පහතින් ඔයිල් බාත් එකක් තිබෙනවා. එහි තෙල් මට්ටම සඳහන් සීමාවන් දෙකක්; අවම සහ උපරිම ලෙසින් (Low & Hi Level) ඔයිල් බාත් එකේ තෙල් සැපයුම කරන ස්ථානයේ දක්වා තිබෙනවා.

මෙහිදී අවධාරණය කළ යුතු කරුණ වන්නේ, අවම මට්ටමට පහතින් තෙල් නොතිබිය යුතු අතර, අවම මට්ටමට ආසන්නයේ හෝ තිබීම ප්‍රමාණවත් නැහැ. උසස් ක්‍රියාකාරිත්වය උදෙසා උපරිම මට්ටමට ආසන්නයේ තිබීම අනිවාර්යයි. මැෂිම ක්‍රියාත්මක කළ යුතු වන්නේ ඉන් අනතුරුවයි. මේ තෙල් මට්ටම බලා ගැනීම සඳහා යාන්ත්‍රික ක්‍රමවේදයක්ද නවීන මැෂින්වල දක්නට ලැබෙනවා.

 

ඔයිල් බල්බය

Hi Speed Direct Drive Cockstitch Machine වලට අයත් සුවිශේෂී අංගයක් ලෙස ඔයිල් බල්බය හඳුන්වා දෙන්නට පුළුවන්. මැෂිම ක්‍රියාත්මක කර මිනිත්තු තුනක් හතරත් අතර කාලයක් තුළදී ඔයිල් බාත් එක තුළ තිබෙන තෙල අදාළ බල්බය ඇති කොටස වෙත ගමන් කළ පසු ස්වයංක්‍රීයවම බල්බය දැල්වීම සිදු වෙයි. මැෂිමේ දකුණු පස ටැග් ලීවරයට ඉහළින් ඔයිල් බල්බය දක්නට ලැබෙනවා. මේ ඔයිල් බල්බයේද ඔයිල් බාත් එකේ ආකාරයටම තෙල් සඳහා වන අවම සහ උපරිම මට්ටම් දක්වා තිබෙනවා. මෙමඟින් තෙල් මට්ටම පරීක්ෂා කළ හැකියි.

බාත් එකේ තෙල් නොමැති නම් මැෂිම ක්‍රියාත්මක කළ ද බල්බය දැල්වීමක් සිදු නොවන්නේ එයට තෙල් ළඟාවීමක් සිදු නොවන නිසයි. එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ගතහැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ දිනයේ වැඩ නිමාවේදී, තෙල් මට්ටම පරීක්ෂා කර අඩුපාඩුවක් තිබේනම් එය සපුරාලීමයි. මෙය වෘත්තීමය දෛනික චර්යාවේ අංගයක් බවට පත්කර ගැනීම වඩාත් උචිත බව අවධාරණය කරන්නට පුළුවන්.

නියමිත මට්ටමට තෙල් ප්‍රමාණය පවත්වාගෙන යාමෙන් විශිෂ්ට ප්‍රතිඵල රැසක් අත්කර ගැනීමට හැකියාව ලැබෙනවා. දැන් විමසා බලමු ඒ මොනවාදැයි කියා...

 

* මැෂිමේ වේගවත් සහ සුමුදු ක්‍රියාකාරිත්වය

* මැෂිමේ කොටස් ගෙවීයාම වැලැක්වීම

* ක්‍රියාත්මක වීමේදී ඇතිවන හානිකර ඝර්ෂණය

වළක්වා ගැනීම

* මැෂිමේ කොටස් මලකඩ කෑමෙන් ආරක්ෂා කර

ගැනීම සඳහා

 

ඔන්න ඉතින්... තවත් සුවිශේෂි අංශයක සුවිශේෂී දැනුමක් ලබා දුන්නා. මැහුම් කලාවේ පරිපූර්ණ දැනුම් සම්භාරයක් ලබා ගැනීම සඳහා රැඳී සිටින්න "තරුණී මැහුම් ඉස්කෝලේ" සමඟින්.

 

 

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී

එරංග රණසිංහ

ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්

(Tharunie)