Monday, February 16, 2026
Follow Us
ඔබේ නිවෙසේ හැඩයට හා පිහිටීමට අනුව යොදන වැරැන්ඩාවක අසිරිය

අප පසුගිය ලිපියේදී ඔබ සමඟ සාකච්ඡා කළේ නිවෙසක වැරැන්ඩාවක පිහිටීමයි. එහිදී වැරැන්ඩාවක් නිවෙසකට ප්‍රයෝජනවත් වන්නේ කෙසේදැයි අප ඔබට විස්තර කළේ පැරැණි නිවෙසක වූ අගුව නැතිනම් ‘පිළ‘ ගැන ද විස්තර කරමිනි.

වැරැන්ඩාවකින් ප්‍රධාන වශයෙන් නිවෙසට ලැබෙන ප්‍රධානතම වාසිය වන්නේ ආරක්ෂාවයි. අව්වෙන් හා වැස්සෙන් ලැබෙන ආරක්ෂාවට අමතරව අමුත්තන්ට ඉඳ ගැනීමට ද එය යොදාගත්තේ ඈත අතීතයේ පටන්ය. සාමාන්‍යයෙන් ඉස්තෝප්පුව ලෙසින් ද හඳුන්වන මේ කොටස නිවෙසට විශාල ආකර්ෂණයක් එක් කරන අංගයකි. නිවෙසට පැමිණෙන අමුත්තන්ට දකිනට ලැබෙන මුල්ම අංගය වන්නේ ද මෙම වැරැන්ඩාවයි.

ඒ නිසාම වැරැන්ඩාව ඉතාම ආකර්ෂණීය ලෙසින් නිර්මාණය කිරීමට ගෘහ නිර්මාණ ශිල්පීන් වර්තමානයේ බෙහෙවින්ම උනන්දු වන බව දකීනට ලැබේ. මෙවරද එවැනි ආකර්ෂණීය ලෙසින් නිර්මාණය කළ තවත් වැරැන්ඩා කිහිපයක් ගැන අපි විමසා බලමු.

1. ඔබ දකින මේ වැරැන්ඩාව නිර්මාණය වී ඇත්තේ බිම තැනූ මාළු ටැංකියක් ද සමඟිනි. නිවෙසට පැමිණෙන අමුත්තන් සඳහා පුටු කිහිපයක් වැරැන්ඩාවේ ඇති අතර එම පුටු මත වාඩි වී මේ අලංකාර ටැංකිය නැරැඹිය හැකි අයුරින් මෙය නිර්මාණය වී තිබේ.

2. ලී පටි යොදා ගෙන තැනූ බිම් අතුරනයක් සහිත වැරැන්ඩාවක් නිවෙසට අලංකාරයෙකි. එසේම එය නෙතට ද ප්‍රිය දසුනකි. නිවෙසට පැමිණෙන අමුත්තන් සඳහා වූ කුඩා පුටු සෙටියක් ද මෙහි ඇති අතර පරිසරය සමඟ ගහ කොළ සමඟ බද්ධ වූ අලංකාර ගෙමිදුලක් ද සහිතව වැරැන්ඩාව යොදා තිබේ.

3. මෙහි පැන්ට්‍රිය සමඟ වූ වැරැන්ඩාව තරමක වෙනස් නිර්මාණයකි. එහි එක් පැත්තකින් කුඩා පැන්ට්‍රිය ද අනෙක් පැත්තෙන් කුඩා මාළු ටැංකියකි. එය වඩාත් අලංකාර වී ඇත්තේ එක් කොනක ගසක් සිටුවීමෙනි.

(Tharunie)