මඳ සුළගට නැළවෙමින් පිපී හිනැහෙනා සුන්දර ෆැලනොප්සිස් කොමළියන් අසුන්දර කරන්නට විවිධාකාරයේ පළිබෝධකයින් සමත් වේ. එමෙන්ම නොයෙක් රෝග තත්ත්ව නිසාද මේ මල් කුමාරියන්ගේ වර්ධනය බාල වී මල් අස්වැන්න අඩු විය හැකියි. එබැවින් මේ සොඳුරු ෆැලනොප්සිස් කුමාරියන් රෝගී කරවන පළිබෝධකයන් සහ රෝග පිළිබඳ අද අපි සොයා බලමු.
පළිබෝධ හානි
වෙනත් උඩවැඩියා වර්ගවලට මෙන්ම ෆැලනොප්සිස් වගාවට ද පිටිමකුණාගෙන් සහ පොතු කෘමියාගෙන් බේරීමට තරමක් අපහසු වේ. එබැවින් ඔවුන්ගේ ආක්‍රමණයක් සිදුවේදැයි නිරන්තරයෙන් විමසිලිමත් වන්න. හදිසියේ හෝ ඔබේ වගාව තුළ පිටිමකුණු හෝ පොතු කෘමි උවදුරු දුටු විගස ඇඩ්මයර් (Admire) වැනි කෘමිනාශකයක් යොදා එය පාලනය කරගන්නට වගබලාගන්න.
මයිටා හානිය
සාමාන්‍යයෙන් ෆැලනොප්සිස් පැළෑටි වර්ෂාව හමුවේ තරමක් හානියට පත් වේ. එය වළක්වා ගැනීමට බොහෝ දෙනකු මේ ෆැලනොප්සිස් වගා කරනුයේ පොලිතීන් ගෘහයන් තුළය. නමුත් උණුසුම් කාලගුණික තත්ත්වයේ දී මේ පොලිතීන් ආවරණය තුළ උෂ්ණත්වය අධිකව ඉහළට යන අතර එමඟින් මයිටා හානිය වැඩි දියුණු වේ.
මෙහිදී ෆැලනොප්සිස් පත්‍රවල උඩු පැත්තේ කහ පාට ළප මතුවෙමින් මයිටා හානිය දර්ශනය වේ. ඇතැම්විට ඒ වනවිට හානිය ආරම්භ වී සති කිහිපයක් ගත වී තිබිය හැකියි. ඔබ පත්‍රවල යටිපැත්ත පරීක්ෂාකර බැලුවහෙත් සුදු පැහැති ළප රාශියක් දැකිය හැකි අතර අත් කාචයකින් බැලූ විට රතු පැහැති කුඩා මයිටාවන් එහා මෙහා යනු පහසුවෙන් දැකිය හැකියි.
සතියකට වරක් ඇබමැක්ටින් දිලීර නාශකය යෙදීමෙන් මේ තත්ත්වය වළක්වා ගත හැකිය. මෙය සතියකට වරක් බැගින් සති කිහිපයක්ම යෙදිය යුතු වේ.
දිලීර රෝග
ඊට අමතරව මේ මල් කොමළියන්ට හානිකරන දිලීර රෝගවලින් ද ඔවුන්ව වළක්වා ගත යුතු වේ. ඒ සඳහා වගාවට මැන්කොසෙබ් (Mancozeb) හෝ ටොප්සින් (Topsin) යොදන්න.
බැක්ටීරියා ආසාදන
ෆැලනොප්සිස් ශාක පත්‍රමත සවස් වනවිට ජල බිංදු රැඳී තිබෙනු දැකිය හැකියි. එසේ රැඳී ඇති ජල බිඳිති පිරිසුදු රෙදි කැබැල්ලකින් පිස දමන්නට හැකි නම් එය ඉතා අගෙයි. මන්ද රාත්‍රිය පුරා මෙලෙස පත්‍ර මත ජල බිඳිති රැඳී තිබීමෙන් එම ස්ථානවල වෘත්තාකාර දිය පට්ටා වැනි තත්ත්වයක් හටගනු ඇත. තරමක දුර්ගන්ධයක් ද එමඟින් වහනයවන අතර මෙය බැක්ටීරියා ආසාදනයකි.
මේ තත්ත්වය හටගෙන තිබියදී ඔබ එම පැළෑටිවලට ජලය යෙදුවහොත් එම ජලය විසිවී අනෙක් පැළෑටිවලට ද රෝගය බෝවීමට ඉඩ තිබේවි.
එබැවින් මෙවැනි බැක්ටීරියා ආසාදනයක් දුටු විගස පෙරනොක්ස් (peronox) වැනි තඹ අඩංගු දිලීර නාශකයක් යොදා රෝගය පාලනය කරගන්නට වගබලාගන්න.
උපදෙස් සුමුදු ඕකිඩ්ස් හි
ජයන්තිමාලා එදිරිසිංහ
(Tharunie)