Thursday, April 25, 2024
Follow Us
පොඩිත්තන්ට සෙල්ලම් කරන්න පෙන්ගු වින් යාළුවෙක්

හිම මත ලිස්සා යමින් සෙල්ලම් කරන පෙන්ගුවින් කුරුල්ලන්ට පොඩිත්තන් බොහොම කැමැතියි. සැහැල්ලු සෙල්ලම් බඩු අතර ඉහළින්ම හිඳින පෙන්ගුවින් පොඩිත්තෙක් වෙළෙඳපොළෙහි ඉහළ මිලක් වෙනවා. ඒත් ඔබ අත්කමට දක්ෂ කාන්තාවක් නම් ඔබේම අතින් මේ පෙන්ගුවින් යාළුවා සකසා ඔබේ දූදරුවන්ට තිළිණ කළ හැකියි. ඉතුරු බිතුරු රෙදි කැබලි භාවිතයෙන් පෙන්ගුවින් සකසන ආකාරය බලමු.

අවශ්‍ය දේවල්

 

කළු පැහැති ඉරි, ඩොට් මුද්‍රිත රෙදි

අළු පාට මුද්‍රිත රෙදි

කහ පාට ෆෙල්ට් රෙදි

පැඩිං හෝ පුලුන්

සුදු පාට බොත්තම් දෙකක්

කළු වර්ණ නූල්

ඉඳිකටු, කතුර, පැන්සල් හා පතරොම් ඇඳගැනීමට කඩදාසි

 

නිර්මාණය කිරීම

 

මේ පෙන්ගුවින් යාළුවා සැකසීම සඳහා අවශ්‍ය පතරොම් අප ඔබට ලබා දී ඇත. ඒවා අවශ්‍ය ප්‍රමාණයට විශාල කරගෙන ඡායා පිටපත් ලබාගන්න. පසුව වටේට මැහුම් වාසි තබා පතරොම් කපාගන්න. එම පතරොම් භාවිතයෙන් රෙදි කොටස් කපාගත යුතුයි.

අවශ්‍ය රෙදි අංක 1 රූපයෙන් දැක්වේ. ඇඟ සඳහා තෝරාගත් රෙදිවලින් ඇඟ කොටස් 2ක්, ඉදිරිපසට දිස්වන බඩ සඳහා තෝරාගත් රෙදිවලින් නැම්මට තබා කොටසක්, පියාපත් සඳහා ළා පාට රෙදිවලින් කොටස් දෙකක් හා තද පැහැති රෙදිවලින් කොටස් දෙකක්, කකුල් සඳහා කහ පාට ෆෙල්ට් රෙදිවලින් කොටස් හතරක් හා හොට සඳහා කහ පාට ෆෙල්ට් රෙදිවලින් කොටස් දෙකක් කපාගන්න. අංක 2 රූපයෙන් දැක්වෙන්නේ එලෙස කපාගත රෙදි කොටස්ය.

දැන් අංක 3 රූපය අනුව ඇඟ කොටස් දෙක ගෙන හොට කොටස් දෙක තබා අල්පෙනෙති ගසාගන්න. එය මසාගත් පසු ආකාරය අංක 4 රූපයේ දැක්වේ. ඉන්පසු එම රෙදි කොටස් දෙක හොඳ පිට ඇතුළට එකට ගෑවෙන සේ තබා හොටත් හසුවන සේ කණ පිටින් වටේ A සිට B දක්වා මසාගන්න. අංක 5 රූපය බලන්න.

එය මසා හොඳ පිට හරවා ගත් පසු අංක 6 රූපයේ ලෙස දිස්වේ. දැන් අංක 7 රූපයේ දැක්වෙන ලෙස නැවත කණ පිට හරවා B සිට C දක්වා ඉඩ තබා C සිට D දක්වා ලකුණු කර එම දුර මසාගන්න. දැන් එම කොටසට බඩ සඳහා කපාගත් කොටස අල්ලා ගත යුතුයි. පළමුව රෙදි කොටස් අල්පෙනෙති ගසා සම්බන්ධ කරන්න.

අංක 8 හා 9 රූප බලන්න. ඉන්පසුව A සිට D දක්වා වටේට බඩ කොටස කළු රෙදි කොටස් දෙකට හසුවන සේ මසාගන්න. මසා හොඳ පිට හරවාගත් පසු අංක 10 හා 11 රූපවල දිස්වන සේ පෙනේවි.

දැන් පියාපත් සඳහා කපාගත් කොටස් දෙක දෙක කණ පිට උඩට සිටින සේ තබා පැඩිං පිරවීමට ඉඩක් තබා වටේ මසාගන්න.

ඉඩ තැබූ තැනින් හොඳ පිට හරවා පැඩිං පුරවාගන්න. කකුල් සඳහා කපා ගත් කොටස් හතර ද එලෙස දෙක දෙක තබා ඉඩත් ඉතිරිකර වටේ මසා ඉඩ තැබූ තැනින් හොඳ පිට හරවා පුලුන් හෝ පැඩිං පුරවා ගන්න.

අංක 12 සිට 15 දක්වා රූප දෙස බැලීමෙන් එය ඔබට හොඳින් පැහැදිලි වේවි. පෙර මසාගත් ඇඟ කොටස ගෙන හිස පහළ ඉඩ තැබූ තැනින් පුලුන් හෝ පැඩිං පුරවා ගන්න. අංක 16 රූපය බලන්න. දැන් එම හිඩැස මැහුම් වාසි ඇතුළට නමා අංක 17 හා 18 රූපවල දැක්වෙන ලෙස මසගෙන්න.

මසා නිමකර ගත් කඳ, පියාපත් හා කකුල් අංක 19 රූපයෙන් පෙන්වයි. අංක 20 රූපයේ දැක්වෙන ලෙස කළු නූල් භාවිතකර පියාපත් දෙක ඇඟ දෙපසට තබා මසාගන්න.

කකුල් දෙක ඇඟ පහළින් අංක 21 රූපයේ දැක්වෙන සේ තබා අල්පෙනෙති ගසා පසුව මසා ගත යුතුයි. එය මසාගන්නා ආකාරය අංක 22 රූපයෙන් දැක්වේ.

මසාගත් පසු අංක 23 රූපයේ ආකාරයට කකුල් සවි වී තිබෙණු දැකිය හැකියි. අවසාන වශයෙන් ඇස් දෙක සඳහා හිස දෙපසින් සුදු බොත්තම් දෙක තබා කළු නූලෙන් අංක 24 රූපයේ දැක්වෙන ලෙස මසාගන්න. දැන් පෙන්ගුවින් කුරුල්ලා මසා අවසන්. මෙලෙස ඔබට කැමැති ප්‍රමාණයක් විශාලව හෝ කුඩාවට පෙන්ගුවින්ලා මසාගන්න.

(Tharunie)