Sunday, May 05, 2024
Follow Us
කාන්තාවකට සුදුසු ම ව්‍යාපාරයක්

විවේකයයි විනෝදයයි ආදායම් ගෙනෙයි

අතමිට සරුකරන ඇන්තූරියම් වගාව -1

නෙක පැහැ සොඳුරු මල් ලෝකයේ ආඩම්බරකාරිය ඇයයි. සුවඳක් නැතත් ඇගේ හැඩරුවේ නම් අඩුවක්ම නැත. රතු, දම්, රෝස, සුදු, කොළ, දුඹුරු, කළු, තැඹිලි වර්ණවලින් පිපී හැඩට රුවට දිලෙන ඈ ඇන්තූරියම් නම් වේ. මේ වර්ණ තනි පැහැයන්ගෙන් ද වර්ණ මිශ්‍ර වීමෙන් ද වර්ග දහස් ගණන් ඇති ඇන්තූරියම් වගාව අතමිට සරුකරන කදිම ආදායම් මාර්ගයක් ද වේ. රැකියාවක් නො කරන කාන්තාවකට මෙන්ම රැකියාවක නියුතු කාන්තාවකටත් ඇන්තූරියම් වගාවේ නිරත වීමෙන් අමතර ආදායමක් උපයා ගන්නට හැකියි.

මේ දිනවල ඉතා ඉහළ මිලකට අලෙවි වන නිසාම ඇන්තූරියම් වගාව පිළිබඳ විපරම් කරන්නෝ ද බොහෝය. ඒ නිසා අපි ඇන්තූරියම් වගාව පිළිබඳ අංග සම්පූර්ණ දැනුමක් ඔබ වෙත ලබා දෙන්නට සූදානම්. මේ වෙනුවෙන් උපදෙස් ලබා දෙන්නේ දැනට සාර්ථක ලෙස ඇන්තූරියම් වගාවේ නියැළෙමින් ව්‍යාපාරයක් ලෙසින් සාර්ථක ගමනක් යන පැළ තවාන් හිමිකරුවන් සහ හිමිකාරිනියන් විසිනි.

අප අද සිට ඔවුන්ගේ දැනුම ඔබත් සමඟ බෙදාගන්නට සූදානම්. ඔබ ඇන්තූරියම් වගාවේ නියැළෙන අයෙක් නම් අපිත් සමඟ සම්බන්ධ වී නවක වගාකරුවන්ට උපදෙස් ලබාදෙන්නට හැකියි. ඔබ ඇන්තූරියම් වගාවට අවතීර්ණ වන්න ට සිතන්නේ නම් අප ලබා දෙන මේ අත්වැල බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි. මෙයින් දැනුම ලබා ඔබටත් වගාවක් අරඹන්නට හැකියි. බලන්න මේ හැඩකාරියන් ගේ අලංකාරය.....

ඇන්තූරියම් ගෙමිදුලකට වඩාත් සිත් ඇදගන්නාසුලු අලංකාරයක් එක්කළ හැකි විශේෂිත මල් වර්ගයකි. බොහොමයක් නිවෙස්වල ඇන්තූරියම් මලක් සමඟ පෝච්චියක් ගෙමිදුලෙහි විශේෂයෙන් ගසක සෙවණක දක්නට ලැබේ. ඇන්තූරියම් වගාව සාර්ථකව කරගත හැකි වූවොත් එය ඉතා හොඳ ආදායමක් ඉපයීමට හැකි ස්වයං රැකියාවකි. මේ වගාව ගෙවතු අලංකරණය සඳහාත් දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ සඳහාත් වගා කෙරේ. මේ සඳහා ඉහළ වටිනාකමක් හා යහපත් ඉල්ලුමක් ද පවතී. අනිකුත් මල් වර්ගවලට ඇති ඉල්ලුම හා සසඳා බලනවිට මිල වෙනස් වෙමින් පැවතියත් ඇන්තූරියම් සඳහා ඇති ඉල්ලුම හා මිල කිසිම දිනක නොවෙනස්ව පවතී.

(Tharunie)