Sunday, May 05, 2024
Follow Us
ගමේ අයගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලැබීම සතුටක්

එනසාල් වගාවෙන් ජීවිතය දිනූ කොත්මලේ - හේමමාලී

එනසාල් එහෙමත් නැතිනම් කරදමුංගු කියන්නෙ වෙළෙඳපොළ තුළ ඉහළ වටිනාකමක් ලබාදෙන කුළුබඩුවකි. ඒ නිසාම මේ එනසාල් වගාව හරහා ඉහළ ආදායමක් ලබාගත හැකි බවත් දැන් ඔබ හොඳින් දන්නවා.

එහෙමනම් අද අප ඔබට හඳුන්වා දෙන්නේ මේ එනසාල් වගා කිරීමෙන් ජීවිතය ජයගත් කාන්තාවකි.

ඇය එනසාල් වගා කිරීමෙන් පමණක් නොනැවතී එය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කොට තම ගම් පියසේ කාන්තාවන්ගේ ආර්ථිකයට ද ශක්තියක් සපයන දිරිය කාන්තාවකි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ රොජර්සන්ගම පදිංචි ඇය හේමමාලී සංජීවනී මාරසිංහ. තම ආදරණීය සැමියා වූ මයුරපාල ගුණසේකර සමඟ එක්ව එනසාල් වගාවක් පවත්වගෙන යනවා පමණක් නොව එය පරිභෝජනයට සුදුසු ආකාරයට සකසා අලෙවිය සඳහා ඉදිරිපත් කරන්නීය.

මේ වනවිට ගෘහස්ථ එනසාල් සැකසුම් මධ්‍යස්ථානයක හිමිකාරිනියක් වන හේමමාලී ඉතා සාර්ථකව එනසාල් කර්මාන්තයේ නියැළී සිටින අපූරු ව්‍යවසායිකාවක් හැටියටත් හඳුන්වාදිය හැකියි.

මේ බිමෙහි හැදී වැඩී මහ පොළොවට ණය නැති තවත් එක් ලක් වනිතාවක් වූ හේමමාලී සිය හඬ මෙලෙස අවදි කළාය.

“රොජර්සන්ගම කියන අපේ ගම එනසාල් වගාව සඳහාම සුවිශේෂිත වූ ගම්මානයක්. ස්වාභාවික රක්ෂිත වනයක් ආසන්නයේම පිහිටි නිසා අපේ ගම සුන්දරත්වයෙන් වාගේම එනසාල් වගාවට අවශ්‍ය පාරිසරික සාධකවලින් කිසිදු අඩුවක් නෑ. ඒ නිසාම අපේ අත්තලා, මුත්තලාගේ කාලයේ ඉඳන්ම මේ ගමේ එනසාල් වැවෙනවා. ගොවි පවුලක් විදිහට අපිත් පුංචි කාලයේ ඉඳන්ම මේ වගා කටයුතුවල නියැළුණා.

මම විවාහ වුණෙත් කුළුබඩු කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයකු සමඟයි. ඉතින් ඔහුගේ ව්‍යාපාර කටයුතුවලට උදවු කරන ගමන් අපේ පාරම්පරික උරුමය වුණු මේ එනසාල් කර්මාන්තයත් දියුණු කරගන්න මට අවශ්‍ය වුණා.“

ඒ සඳහා අඩිතාලමක් විදිහට ද ඔබ එනසාල් වගා සමිතියක් පිහිටුවා ගත්තේ?

“ඇත්තටම ඔව්. කොත්මලේ ප්‍රදේශයේ එනසාල් වගාවේ නිරතවන කිහිපදෙනෙක් සම්බන්ධ කරගෙන අපි වගා සංවිධානයක් පිහිටුවා ගත්තා 2006 වසරේදී. ‘කොත්මලේ එනසාල් ගොවි කණ්ඩායම‘ නම් වූ මේ සංවිධානයට ආරම්භයේ දී සාමාජිකයන් හයදෙනකු පමණයි සම්බන්ධ වුණේ. නමුත් මේ වනවිට සාමාජිකයන් 20ක් පමණ සිටින අතර රැකියා විරහිතව සිටින කාන්තාවන් වැඩි පිරිසක් සහභාගි කරවා ගැනීමයි අපේ අරමුණ වුණේ.“

මේ කටයුත්තට තවත් ආයතන කිහිපයකම සහයෝගය ලැබුණා කියලත් ඔබ පැවසුවා.

“එනසාල් වගාව සාර්ථකව කරගෙන යන්න අපට අවශ්‍ය උපදෙස්, මඟ පෙන්වීම විතරක් නෙමෙයි සහනාධාර සපයන්නත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහය වුණා. ඒ වගේම පොඩි (Podie) (People's Organisation For Development Import and Export) කියන ආයතනයත් අපේ ගොවි සංවිධානයට පුදුමාකාර විදිහට උදවු කළා. විශේෂයෙන්ම එනසාල් වියළන යන්ත්‍රයක් වාගේම ඒවා වියළීමට අවශ්‍ය භාජනත් ඔවුන් අපට ලබා දුන්නා. එනසාල් කියන කුළුබඩුව වෙළෙඳ භාණ්ඩයක් ලෙස නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව ලබාදුන් මේ දැනුවත් කිරීම හරහා ප්‍රමිතිගත නිෂ්පාදනයක් නිපදවා ගන්නට දැන් අපට හැකියාව ලැබී තියෙනවා. දැනට මේ ප්‍රදේශයේ වැවෙන අක්කර 100ක පමණ එනසාල් අපේ මධ්‍යස්ථානයට ගන්නවා.“

ඔබේ එනසාල් සැකසුම් මධ්‍යස්ථානය තුළ සිදු කෙරෙන වැඩකටයුතු ගැනත් අපට කියන්න.

“සාමාන්‍යයෙන් මාස එකහමාරකට වරක් එනසාල් අස්වැන්න නෙළා ගන්න පුළුවනි. අගෝස්තු, සැප්තැම්බර් කියන්නෙ අස්වැන්න වැඩි මාස. එනසාල් ගෙඩිය හොඳින් පැසුණු විට දීප්තිමත් කොළ පැහැයක් ගන්නවා. එවිට රෑන්වලින් වෙන් කරගත් ගෙඩි අප වෙත රැගෙන එනවා. ඊට පස්සෙ ඒවායේ ඇති අපද්‍රව්‍ය ඉවත්කර සෝදා වියළන යන්ත්‍රයට දමා වියළා ගන්නවා. අනතුරුව තමයි එනසාල් ශ්‍රේණිගත කර පොලිතීන් බෑග්වල අසුරා ගන්නේ. මෙහිදි අපද්‍රව්‍ය ඉවත් කිරීම ඉතා සියුම්ව කළයුත්තක් වාගේම ඊට විශාල කාලයක්, ශ්‍රමයක් වැය වෙනවා. ඒ සඳහා අපේ ගමේ කාන්තාවන් සහභාගි කරගන්නා අතර එමඟින් ඔවුනට අමතර ආදායමක් ලබාගන්නටත් හැකියාව ලැබෙනවා.

මාස දෙකකට වරක් අපේ සමිතිය රැස්වෙලා අඩුපාඩු කතා කරනවා. අපි කරන්නේ කාබනික එනසාල් වගාව. ඊට අමතරව වැනිලා, කෝපි, පුවක්, වැල්දොඩම්, නාරං, තේ ආදියත් වගා කරනවා. මගේ දරුවෝ, මහත්තයා මේ වැඩවලට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ නිසා මට අපේ පවුලේ විතරක් නෙමෙයි අපේ ගමේ අයගේ ආර්ථිකය ශක්තිමත් කරන්නත් හැකිවීම පිළිබඳව පුදුමාකාර සතුටක් දැනෙනවා.“

 

විශේෂ ස්තූතිය - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සන්නිවේදන අංශයේ දිශාන්ති කොඩිතුවක්කු

(Tharunie)