Friday, March 29, 2024
Follow Us
පටු ඉඩමක ඉදිකිරීමට සුදුසු තනි මහලේ නිවහනක්

අනාගතයේදී දෙමහල් නිවෙසක් බවට පත් කළ හැකි සරල සැලසුමක්

අපට ගෙයක් හදා ගැනීම සිහිනයක් වෙයිද? මේ බොහෝ දෙනකුගේ සිත් තුළ දැවෙන ප්‍රශ්නයක්. දවසින් දවස ඉහළ යන ගොඩනැඟිලි ද්‍රව්‍යවල මිල ගෙයක් හැදීම අසීරු ඉලක්කයක් වුණත් සෑම අභියෝගයක් මැදම ගෙයක් සාදා ගැනීම අත් හරින්නත් බැහැ. ලබන වසරෙදි කොහොම හරි ගෙයක් හදා ගමුයි කියා හිතන අපේ සමහර ගෘහණියන් ඒ වෙනුවෙන් තවමත් සිහින මවනවා.

මේ අභියෝගය ජය ගන්න පුංචි අත්වැලක් ලබා දෙන්න ඔබටම ගැළපෙන සරල සැලසුමකි මේ.

මේ සැලසුම හරිම සරලයි. මේ නිවහන පර්චස් 5 - 7 තරම් ඉඩමක වුණත් නිම කළ හැකි ලෙසයි නිර්මාණය කර තිබෙන්නේ. විශේෂයෙන් නාගරික ප්‍රදේශක නිවෙසක් සැදීමේදී ඉඩමේ හැඩයට ගැළපෙන අයුරින් සැලසුම නිර්මාණය කිරීම පළමුවම කළ යුතු කටයුත්තක්. කොටස් කළ ඉඩම් කැබැල්ලක දිග අතට විහිදී ගිය පටු ඉඩමක ගෙයක් සෑදීමේදී මෙවැනි සැලසුමක් ඔබට වඩාත්ම ප්‍රයෝජනවත් වේවි.

මෙය තනි මහලේ අංග සම්පූර්ණ නිවෙසකි. කාමර තුනකින් සමන්විත මෙහි මැද සාලය, කෑම කාමරය හා මුළුතැන්ගෙය අනෙකුත් කොටස් ලෙස නිර්මාණය වී තිබේ.

ඉදිරියෙන් වූ කුඩා වැරැන්ඩා දෙකට මැදි වූ රථ ගාල ද එයට යාබදව පිහිටි දිගු වැරැන්ඩාවද නිවෙසට ආකර්ෂණයක් එක් කරයි. තවත් දිගු වරැන්ඩාවක් හරස් අතට පිහිටනනේ දකුණු පසෙන් වූ කාමරයට යාබදවය. මෙය තනි මහලේ කුඩා නිවෙසක් වුවත් ඔබට අනාගතයේදී දෙමහල් නිවෙසක් බවට පත් කිරීමටද හැකියාව ඇති අයුරින් නිර්මාණ සැලසුම සකසා තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

ඒ සඳහා ඔබට වැඩි මුදලක් වැය නොවන අතර පිටතින් යොදන කණු ශක්තිමත් අයුරින් යෙදීම කළයුතු වෙයි.

ඒ සඳහා ඔබ ගෘහ නිර්මාණශිල්පියා සමඟ මුලින්ම සාකච්ඡා කර ගැනීම ඉතා වැදගත් අතර ඔබත් ආර්ථිකයට ගැළපෙන අයුරින් මෙවැනි කුඩා නිවෙසක් මුලින්ම තනාගැනීම ඉතාම බුද්ධිමත් ක්‍රියාවකි.

41

(Tharunie)