Thursday, March 28, 2024
Follow Us
නිසිලෙස දැල් පෝච්චි රාක්කවල රඳවා තබන අයුරු

හැඩකාර, දඟකාර ඕකිඩ් මල් කුමරියන් හරි අපුරුවට ඔබේ ගෙමිදුල එළිය කරනවා. ඒ විතරක් නෙමෙයි ඇය ස්වයං රැකියාවක් බවට පත්වී ඔබේ අතමිට සරු කරන්නත් සූදානම්.

ඉතින් ඒ පිළිබඳ ක්‍රමානුකූලව ඔබව දැනුවත් කරන්නයි අපේ මේ වෑයම. මේ වන විට සමූහ ඕකිඩ් පැළ බඳුනකින් පරෙස්සමට පැළ ගලවා ගන්නා ආකාරය පමණක් නොව ඒවා දැල් පෝච්චිවල සිටුවා ගන්නා අයුරුත් ඔබ හොඳින් දැනුවත්. අනතුරුව මේ දැල් පෝචිචි රඳවා තැබිය යුතු බැවින් එය ක්‍රමානුකූලව සිදු කරන්නේ කෙසේද යන්න අද අපි සොයා බලමු.

දැල් පෝච්චි රඳවන

සාමාන්‍යයෙන් ඕකිඩ් පැළ සිටවූ දැල් පෝච්චි තරමක් කුඩාය. එමෙන්ම මේ පෝච්චි පතුල පොළොවට තදවීම හරහා වගා මාධ්‍යයට නිසි පරිදි වාතය ලැබීම අවහිර වේ. එබැවින් සැමවිටම හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි (පතුල නොවැසෙන සේ) අවකාශයේ රැඳවිය යුතු අතර ඒ සඳහා වඩාත් උචිතවන්නේ පෝචිචි දැල් රාක්කවල රැඳවීමයි.

අපි පසුගිය සතියේ මේ දැල් රාක්ක සැකසීම පිළිබද රූප සටහන් සහිතව ඔබට ඉදිරිපත් කළෙමු.

එහිදී අප පැවසූයේ ඕකිඩ් පැළ දැල් පෝච්චිවල සිටුවීමට පෙර මෙම රාක්ක සකසා ගැනීම හරහා සිටුවා ගත් පැළ එසැණින් රාක්කවල රැඳවිය හැකි බවයි.

මෙහිදී ඔබ පරෙස්සමට සැකසූ කුඩා දැල් බඳුන් අඟල් 2x2 ප්‍රමාණයේ කොටු දැලෙහි සිදුරු මත රඳවන්න. නමුත් ඔබ සකසාගන්නා රාක්කයට අඟල් 2x2 ප්‍රමාණයේ කොටු දැලක් සොයා ගත නොහැකි වූවා යැයි අපි සිතමු. කලබල නොවන්න. රීප්ප පටි සහ කුකුළු දැල් උපයෝගී කරගෙන දැල් බඳුනක් සකසාගන්න. එවිට වාතාශ්‍රය ලැබෙන පරිද්දෙන් පහසුවෙන් මේ දැල් බඳුන මත පෝචිචි රැඳවිය හැකියි. එලෙස සකසා ගන්නා දැල් බඳුන අඟල් 04ක් පමණ දිගකින් සහ අඟල් 02ක් පළල සහිතව සැකසිය යුතු අතර පතුලට කුකුළු දැල සවිකරන්න.

රාක්ක සවි කිරීම

ඔබ සකසා ගත් රාක්ක හෝ දැල් බඳුන් රැඳවිය යුත්තේ උතුරු දිශාවට සමාන්තරවය. එවිට විශේෂයෙන් නැගෙනහිර දිශාවෙන් උදෑසන පතිතවන හිරුඑළිය වඩාත් පහසුවෙන් පැළවලට ලබාගත හැකි වේ. එමෙන්ම මේ මැස්සේ දිගු පැත්තෙන් ජලය, පොහොර ආදිය යෙදීම සඳහා ඔබට පැළ වෙත ළඟාවීමේ හැකියාව ද පවතියි.

මේ දැල් ගෘහය සඳහා භාවිත කරන සෙවණ දැල 60%ක සෙවණක් ලබාදෙන දැලක් වීම විශේෂයි. එමෙන්ම ගෘහයේ උසින් අඩක් පමණ වැසෙන සේ සෙවණ තිබීම වැදගත්.

බඳුන් තැබීම

වගාව ආරම්භයේ දී එනම් ඕකිඩ් පැළ කුඩා අවධියේ දී දැල් පෝච්චි එකිනෙකට ගෑවෙන, නොගෑවෙන අන්දමින් තබාගන්න. නමුත් තරමක් කල්ගතවීමේ දී එනම් වගාවට මාස දෙකක් පමණ ගතවූ පසුව මේ දැල් පෝචිචි තරමක් ඈත්ව තබන්න. මෙහිදී බඳුන් අතර පරතරය අඟල් 02ක් පමණ වීම ප්‍රමාණවත්.

වැසි ආවරණ

ඔබේ කුඩා ඕකිඩ් පැළ වගාව පළමු මාස 3 - 4ක කාලයක් තුළ වර්ෂාවෙන් ආවරණය කිරීමත් ඉතා වැදගත්. ඒ සඳහා වැසි ආවරණයක් (Rain Cover) සකසා ගැනීම සුදුසුය.

මේ වැසි ආවරණය ප්ලාස්ටික් කොන්ඩියුට් (Conduit) බටවලින් සකසා ගත හැකි අතර වහළය සඳහා

UV කිරණ එනම් පාරජම්බුල කිරණ ආරක්ෂිත පොලිතීන්වලින් ආවරණය කිරීම ඉතා වැදගත්. එමෙන්ම වර්ෂාව නොමැතිවිට මෙම වැසි ආවරණය ඉවත්කර තැබීමටත් ඔබ මතක තබාගන්න. මන්ද එසේ නොකළහොත් මෙම වැසි ආවරණය තුළ උෂ්ණත්වය අධිකව ඉහළ ගොස් එය ඕකිඩ් පැළවලට අහිතකර බලපෑමක් සිදුකරනවා නොඅනුමානයි.

ජලය, පොහොර යොදමින් මේ කුඩා ඕකිඩ් පැළ නඩත්තු කරන ආකාරය පිළිබඳයි අප ලබන සතියේ දී දැනුවත් වන්නේ.

 

උපදෙස් -

සුමුදු ඕකිඩ්ස් හි ජයන්තිමාලා එදිරිසිංහ
(Tharunie)