Saturday, April 20, 2024
Follow Us
රෝස මලින් පිරි දසුනක සිරියාව

සොඳුරු සිත්තමක් මෙන් අලංකාර මේ නිර්මාණය රිබන් එම්බ්‍රොයිඩරි කලාවේ විස්මය ඔබට කියයි. මෙමඟින් රෝස පැහැති රෝස මල් පොකුරක පැණි බොන කුරුල්ලන් සිහිගන්වයි. මෙය ත්‍රිමාණ නිර්මාණයක් ලෙසින් සකසා ඔබේ විසිත්ත කාමරයේ බිත්තිය සරසන්නට අපූර්ව සැරසිල්ලක් කරගත හැකියි.

 

අවශ්‍ය දේවල්

අඟල් 1 පළල කොළ පාට ඕගන්ධි රිබන්

අඟල පළල රෝස හා කොළ පාට රිබන්

රෝස, කොළ, පාසි කොළ, දුඹුරු වර්ණ බේබි රිබන්

මිලිමීටර් 2 පළල කොළ වර්ණ රිබන්

කොළ, සුදු, නිල්, දුඹුරු වර්ණවල කැරැලි නූල්

සුදු ලිනන් රෙදි

කොළ, රෝස ආදී වර්ණවල රෙදි පින්තාරු තීන්ත

පින්සල්, පබළු

නොම්බර 20 ටැපැස්ට්‍රි ඉඳිකටු

රමුව, පැන්සල්, ඩ්‍රෙස් මේකිං කාබන් කොළ

 

නිර්මාණය කිරීම

පළමුව ලිනන් රෙදි කොටස සෝදා වියළා අයන් කරගන්න. අප ලබා දී ඇති නිර්මාණය ඔබට අවශ්‍ය ප්‍රමාණයට විශාල කර දළ සටහනක් සකසා ගන්න. එය ඩ්‍රෙස් මේකිං කාබන් කොළයක් ආධාරයෙන් ලිනන් රෙදි කොටසට පිටපත් කරගන්න. ඉන්පසු රෙදි පින්තාරු තීන්ත භාවිතකර පසුබිම වර්ණ ගන්වා ගන්න. එය මඳ පවනේ වියළා රාමුවට දමා මැසීම අරඹන්න.

රෝස මලේ මැද, අඟල් 1 පළළ රෝස වර්ණ රිබන් ගෙන ෆෝල්ඩඩ් රෝස සාදා අල්ලා ගන්න. එය රෙද්දට තබා මසා ගෙන ඊට පිටින් ලූප් මැස්මෙන් පෙති මහන්න, සමහර මල් මැද කොළ පාට පබළු තබා මසා ඇති අතර, අඟල් 1 පළල රෝස පාට රිබන්වලින් රෝස පෙති හැඩය කපා, එම පෙති වටේට ලයිටර් එකකින් පුච්චා සාදා ගන්නා පෙති ද තබා මසා ඇත. පොහොට්ටු අඟල් 1 පළල රෝස වර්ණ රිබන් යොදා රිබන් මැස්මෙන් පෙති මසා මනි පත්‍ර මිලිමීටර් 2 කොළ පැහැති රබන්වලින් රිබන් මැස්මෙන් මසන්න.

මල් පොකුරේ නටු දුඹුරු වර්ණ බේබි රිබන් භාවිතකර ඇඹරුණු කෙළින් මැස්මෙන් මසාගන්න.

කොළ අඟල් 1 පළල කොළ පාට රිබන්වලින් රිබන් මැස්මෙන් මසාගන්න. සමහර නාරටි කොළ පාට නූල් පොට 4ක් භාවිතකර කෙළින් මැස්මෙන් මසන්න. සමහර කොළ අඟල් එක පළල ඕගන්ධි රිබන්වලින් මසා ඇත. තවත් සමහර කොළවල මැද නාරටි රෙදි පින්තාරු තීන්තවලින් ඇඳ ඇත. කුරුල්ලන් ගේ ඔළු හා ඇඟ දිග කොට මැස්මෙන් මසන්න. ඒ සඳහා නිල් හා සුදු වර්ණ කැරැලි නූල් භාවිත කරන්න. පිහාටු ළා සහ තද දුඹුරු පාට මිලිමීටර් 2 පළල රිබන්වලින් කෙළින් මැස්මෙන් මසන්න.

රෙදි පින්තාරු තීන්ත ගෙන මල් මත තැනින් තැන ගල්වන්න. මෙම නිර්මාණය ඔබට කැමැති ලෙස නිදහසේ කරගත හැකි අගනා නිර්මාණයකි.

 

උපදෙස් -

ප්‍රවීණ අත්කම් උපදේශිකා

ශිරන්ති පෙරේරා

(Tharunie)