Monday, April 29, 2024
Follow Us
බතික් රෙද්දෙන් කළ බෑග් විලාසිතාවක්

අද වන විට බතික් රෙද්දට අලුත් වටිනාකමක් ලැබිලා. බතික් රෙද්දෙන් මසන ලද ඇඳුමකින් හැඩවෙලා ඒ රෙද්දෙන්ම මැසූ බෑග් විලාසිතාවකුත් රැගෙන යන්නට හැකිනම් හැමකෙනකුගේම නෙතු ඔබ දෙසට එල්ල වන්නේ ඉබේටමයි.

ඒ සුන්දරත්වය ගැන හැමෝම කතාකරාවි. ඉතිං ඔබ මැහුමට ගෙතුමට දක්ෂ යුවතියක් නම් ඔබේ අතින්ම මහපු ගවුම් විලාසිතාවක් ඇඳගෙන ඒ රෙද්දෙන්ම බෑග් නිර්මාණයකුත් මසාගත හැකි නම් එහි වටිනාකමත් ඉහළයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

බතික් රෙදි මීටර් 1/2ක්

ලයිනිං මීටර් 1/2ක්

ෂීට් මීටර් 1/2ක්

ෂිපර් අඟල් 18ක්

ෂිපර් හෙඩ් 1ක්

වෙළෙඳපොළෙන් ලබාගත් හැඬලයක්

 

නිර්මාණය කිරීම

පළමුව A රූපයේ පෙනෙන ආකාරයට කාඩ්බෝඩ් එකක පතරොම සාදාගන්න. දැන් එම පතරොම තබා රෙදි ෂීට් හා ලයිනිං කපාගන්න. රෙදි කොටස් 2ක් ෂීට් කොටස් 2ක් සහ ලයිනිං කොටස් 2ක් ඒ අනුව කපාගත යුතුය.

ඉන්පසු පළමුව ෂීට් කොටස් දෙකට රෙදි කොටස් දෙක තබා වටේ මසා ගන්න. දැන් ලයිනිං කොටස් දෙකේ උඩ පැත්තට ෂිපර් එක හා ෂිපර් පටිය තබා මසා ගන්න. (C) ලූප් කොටස් හතරම අඟලක් පමණ පහතට නමා මසා ගන්න. එම ලූප් හතර හැඬලයට තබා මසා ගන්න.

එම හැඬලය බෑගයේ (A) ඉදිරිපස හා පිටුපස කොටස් දෙකේ උඩ පැත්තට තබා මසාගතයුතුයි.

පළමුවෙන් A කොටසේ හරි මැද ලකුණු කර ගන්න. එහි මැද සිට වමට හා දකුණට අඟල් තුනක් වන්නට ලකුණු කර එයට හැඬලය තබා මසාගන්න. ඉන්පසුව එම හැඬලය මසාගත් කොටස උඩින් ෂිපර් පටිය තබා මසාගන්න. අවසාන වශයෙන් හොඳ පිට හොඳ පිටට තබා ලයිනිං කොටසේ සිට බෑග් කොටස දක්වා මසාගන්න. බෑගයේ අඩිය එක උඩ එක තබා මසා ගෙන බෑගය හොඳ පිට හරවා කට වටේට අවුට් ලයින් මසා අවසන් කරගන්න.

(Tharunie)