Saturday, May 04, 2024
Follow Us
ගින්හැම් ලේස් එම්බ්‍රොයිඩරි හැඩැති කුෂන් කවරයක්

ගින්හැම් ලේස් එම්බ්‍රොයිඩරි (gingham lace embroidery) එහෙමත් නැත්නම් චිකන් ස්ක්‍රැච් එම්බ්‍රොයිඩරි (chicken scratch embroidery) කලාව දෑතේ විස්කම් කියන තවත් අපූරු මැහුම් කලාවක් ලෙස හඳුන්වන්න පුළුවන්.

කොටු රෙදි මත නූලෙන් සිත්තම් කරන මේ මනරම් කලාව කුෂන් කවර, මේස රෙදි වගේම ටේබල් මැට් හැඩකරන්නත් කදිමයි. වැඩි වශයෙන්ම සුදු වර්ණයෙන් මැසූව ද සුදු වර්ණයට අමතරව වෙනත් වර්ණත් ගළපා ගන්නට හැකියි. අද සිට ඇරඹෙන මේ ගින්හැම් ලේස් මැහුම් කලාව ඒ සඳහා ඇල්මක් දක්වන ඔබට වටිනා තිළිණයක් වේවි.

මේ සඳහා

අවශ්‍ය ද්‍රව්‍ය

මුද්‍රිත කොටු රෙදි (අඟල් 1/4 කොටු)

නොම්බර 24 ටැපැස්ට්‍රි ඉඳීකටු

සුදු පර්ල් කොට්න් නූල්

රාමුවක්

මසන ආකාරය

මෙම රෙදි වර්ගයේ කොටු පිහිටා ඇත්තේ තද, ළා සහ සුදු යන වර්ණයන් ගෙනි. මෙහි ඇති මෝස්තරය මසා ගැනීම සඳහා පළමුව තද පාට කොටු 9 ගෙන 1වැනි රූප සටහනේ පෙනෙන ආකාරයට කතිර සිටින සේ මසාගන්න. මැසීම ආරම්භ කරනුයේ කොටු නමයේ ඇති මැද කොටුවේ සිටය. එහිදී මැද කතිරයේ උඩ කෙළවර සිට කොන් හතරේ ඇති කතිරයේ කෙළවරවල් අතරින් නූල තුන්වරක් රිංගවා ගන්න. එය 2වැනි රූප සටහනේ දැක්වේ. ඒ ආකාරයට පෙති හතරක් එන සේ මසාගන්න. දැන් එලෙසින් ඔබට අවශ්‍ය පරිදි දෙපසට ඉහළට සහ පහළට මල් පෙති මසාගන්න. මේ ආකාරයට ඔබට අවශ්‍ය නිර්මාණය මසාගත හැකියි.

 

උපදෙස් ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

සේනානි සේනාරත්න

(Thanunie)