Friday, March 29, 2024
Follow Us
රෝස මලින් පිරි කූඩයක අසිරිය

රෝස මල් බඳුනක නිර්මාණයකි. රෝස වර්ණ රිබන් යොදා ගනිමින් හරි අපූරුවට ගෙත්තම් කර ඇති මේ මල් කොමළියන් කුෂන් කවරයට මෙන්ම බිත්ති සැරසිල්ලකට ද හරිම අපූරුයි.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් ½ පළලින් සැමන් පින්ක්, රෝස පාට, ඔලිව් කොළ, තද කොළ පැහැති රිබන්

ඔලිව් කොළ පාට සහ දුඹුරු පාට

බේබි රිබන්

ලිනන් හෝ අමු රෙදි අඟල් 12x12

කොටසක්

එම්බ්‍රොයිඩරි රාමුවක්

ටැපැස්ට්‍රි නො 18 - 22 ඉඳිකටු

එම්බ්‍රොයිඩරි කතුරක්

 

නිර්මාණය කරගන්නා ආකාරය

පළමුව සුදු ලිනන් රෙදි කොටස ගෙන එම්බ්‍රොයිඩරි රාමුවට දමා හොඳින් තදකර ගන්න.

ඉන්පසු නොම්බර 18 ටැපැස්ට්‍රි ඉඳිකටුවට දුඹුරු පාට බේබි රිබන් එක දමා අගින් ගැටයක් දමා ගන්න. පසුව කූඩය මැසිය යුතු ස්ථානය ලකුණු කර එම ස්ථානයේ සිට උඩ සිට පහළට සමාන දුරින් සිරස් රේඛා මසා ගන්න.

එම අවස්ථාවේ රිබන් එක හොඳින් අඹරවා ගත යුතුයි.

එවිට එය හොඳින් පිරී ඇති කොටු කැබැල්ලක් සේ දැකගත හැකියි. නිර්මාණයක් සිදු කරන විට එහි ස්වභාවිකත්වය ඉස්මතු වන පරිදි නිර්මාණය කිරීම වඩා වැදගත්ය. පසුව බාස්කට් එකෙහි හරහට විවීම ආරම්භ කළ යුතුය.

ඒ සඳහා නැවතත් දුඹුරු පැහැති බේබි රිබන් එක ගෙන සිරස් අතට මසාගත් මැහුම් අතරින් එනම් එකක් උඩින් එකක් යටින් ඉඳිකටුව යවමින් මසා ගතයුතුය.

මෙය බාස්කට් වීව් නම් මැහුම් ක්‍රමයයි. එසේ මසමින් සම්පූර්ණ බාස්කට් එකම මසා නිමකර ගන්න.

දැන් රෝසමල් මසා

ගනිමු.

ඒ සඳහා සැමන් රෝස පැහැති අඟල් ½ පළල රිබන් එකගෙන අඟල් 10 - 12 පමණ දිග රිබන් කොටසක් කපා ගන්න.

ඉන්පසු එම රිබන් කොටසින් කලින් කියාදී ඇති ආකාරයට ෆෝල්ඩඩ් රෝස මලක් සාදාගන්න. මෙම නිර්මාණය සඳහා එවැනි රෝස මල් පහක් සාදා ගත යුතුය.

දැන් කූඩය උඩින් මල් මැසිය යුතු ස්ථාන ලකුණු කරගන්න. එම එක් ස්ථානයකින් එම්බ්‍රොයිඩරි කතුරු තුඩ භාවිත කරමින් ඉතා කුඩා සිදුරක් සාදා ගන්න.

පසුව එම සිදුර උඩින් ෆෝල්ඩඩ් රෝස මලක් තබා එම පැහැයේ නූල් කොටසක් ඉඳිකටුවකට දමා මල රෙද්දට සම්බන්ධ වන සේ මසා ගන්න.

පසුව රෝස පැහැති අඟල් ½ රිබන් කොටසක් ගෙන එය ඉඳිකටුවට දමා අනෙක් මල් පෙති මැසීම ආරම්භ කරන්න. ෆෝල්ඩඩ් රෝස මලේ උඩ සිට පැත්තට එය මැදිවන සේ මසා ගත යුතුය. එහිදී පළමුව ඡායාරූපයේ පෙනෙන පරිදි මලේ දකුණු පස සිට යටට කෙළින් මැහුමක් මසන්න.

දැන් එයට යටින් පටන්ගෙන මලේ වම් පැත්තට තවත් කෙළින් මැහුමක් මහන්න. ඒ ආකාරයට දෙපස මාරු කරමින් රෝස පෙති මසාගන්න.

මෙවැනි මල් හතරක් මෙම නිර්මාණය සඳහා යොදාගෙන තිබේ. රෝස පැහැති අඟල් ½ රිබන් භාවිත කරමින් පොහොට්ටු මසා තිබේ.

පොහොට්ටු මැසීම සඳහා රිබන් මැස්ම භාවිතකර ඇති අතර ඔලිව් වර්ණ කොළ රිබන් මඟින් කෙලින් මැස්ම භාවිත කරමින් කොළ මසාගෙන ඇත. ඒ අතර අනෙක් කොළ වර්ණ රිබන් මඟින් කෙළින් මැස්මෙන් තවත් කොළ කිහිපයක් මසාගෙන තිබේ.

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

ශලින්ද්‍රි ආලෝකා

(Tharunie)