Thursday, March 28, 2024
Follow Us
රෝස කොළය මෙහෙම හදමු

කේක් එකක් ලස්සන කරන්න අයිසිං මල් වගේම කොළත් අවශ්‍යයි. ඒ නිසා අද අපි රෝස මලින් හැඩකරන කේක් එකකට අවශ්‍ය වන රෝස කොළය සාදාගන්නා ආකාරය ඉගෙන ගනිමු.

මේ සඳහා අවශ්‍ය වන්නේ

පාච්මන්ට් අයිසිං හෝ තයිලෝ පේස්ට්

ගේජ් 26 කම්බි

කොළ කපන කටරය

පෙන්සිල් ටූල් එක

කොළ පැහැති ඩස්ට්

නිර්මාණය කිරීම

රෝස කොළය සාදා ගැනීමේදී පළමුව 1 වැනි ඡායාරූපයේ දැක්වෙන ආකාරයට අයිසිං බෝලයක් සාදා ගන්න. මෙම කොළය සෑදීමේදී අයිසිංවලට කොළ වර්ණය යොදා ගෙන නොමැති නමුත් ඔබට අවශ්‍ය පරිදි වර්ණ කළ හැකියි. දැන් ඔබ සාදාගත් අයිසිං බෝලය මැදින් ගේජ් 26 කම්බි කොටසක් දමන්න. එය දෙවැනි ඡායාරූපයේ දැක්වේ. පසුව තෙවැනි ඡායාරූපයේ දැක්වෙන ආකාරයට අයිසිං බෝලය දිගටි හැඩයට සාදා ගන්න. ඉන්පසු සිව්වැනි ඡායාරූපයේ පරිදි දිගටියට සාදාගත් අයිසිං කොටස මත පෙන්සිල් ටූලයෙන් ටුල් කරන්න. දැන් ඒ මත කටරය තබාගත යුතුයි. මෙහි පස්වැනි ඡායාරූපයෙන් කටරය දැක්වෙන අතර හයවැනි ඡායාරූපයෙන් කටරය තබා කපා ගන්නා ආකාරය දැක්වේ. හත්වැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ කපාගත් කොළයයි. කොළය කපාගත් පසු අනවශ්‍ය අයිසිං කොටස් ඉවත් කරගන්න. ඔබ කොළය කැපීමට භාවිත කළේ ටින් කටරය නම් කොළය කපා කොළ වේනරය මගින් වේනර් කරන්න. වෙළෙඳපොළේ ඇති කටරයෙන් කපා ගත්තේ නම් මේ දෙකම එකවර කරගත හැකියි.

කොළය කපා ගැනීමෙන් පසු ඒ මත කොළ වර්ණ ඩස්ට් පවුඩර් ආලේප කරන්න. එහි තුඩ දෙසට රතු වර්ණය යන්තමට ආලේප කරන්න. එය අටවැනි ඡායාරූපයෙන් දැක්වේ.

දැන් කොළය දාරය පිටුපසට නමා දෙපස හැඩකර කොළයක ඇති ස්වාභාවිකත්වය එයට දෙන්න.

ඩස්ට් නොමැතිව සුදු වර්ණය හෝ කහ වර්ණය දැමූ අයිසිං යොදා ගනිමින් කොළ සාදාගන්නේ නම් එම කොළ හොඳින් වේළා අවශ්‍ය ලෙස වර්ණ ස්ප්‍රේ කළ හැකියි. එසේ ස්ප්‍රේ කරන්නේ නම් නැවතත් වේළෙන්නට තබාගත යුතුය. කොළ ඉති සාදා ගැනීමේදී කුඩා කොළ තුනක්, මධ්‍යම ප්‍රමාණයේ කොළ දෙකක් සහ ලොකු කොළ දෙකක් ලෙසට ඉති සාදා ගන්න.

 

උපදෙස්

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ප්‍රදීකා විජේසූරිය

(Tharunie)