Friday, October 18, 2024
Follow Us
ස්ට්‍රෝබෙරි පෑන් කේක්

පෑන් කේක් කියන්නෙ තේ බොන වෙලාවට එහෙමත් නැත්නම් අමුත්තෙක් ආව වෙලාවට ශ්‍රී ලාංකේය අපේ මුළුතැන්ගෙයි පිළියෙල වෙන අපිට බොහොම හුරුපුරුදු කෙටි ආහාරයක්නෙ. 

ලංකාවේ අපි සාමාන්‍යයෙන් පෑන් කේක් කන්න පුරුදු වෙලා ඉන්නෙ පැණි පොල් පිරවුමක් මැදි කරල රෝලක් හැඩයට හදාගෙනනෙ.

හැබැයි යුරෝපා රටවල්වල පෑන් කේක් හදන විදිහ වගේම පෑන් කේක් පිළිගන්වන විදිහත් ටිකක් වෙනස්. 

අද අපි ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ රසම රස අමෙරිකන් පෑන් කේක් විනාඩි 10 ක් වගේ කෙටි කාලෙකින් ලස්සනට හදාගන්න විදිහයි. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ උදෑසන ආහාරය සඳහා මෙය කදිම ආහාරයකි.

එහෙනම් මුලින්ම බලමු අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා.  මේ සඳහා පාන් පිටි ග්‍රෑම් 200ක්, බේකිං පවුඩර් ග්‍රෑම් 10 ක්, සීනි මේස හැඳි 01 ක්, ලුණු කුඩු තේ හැඳි 01 ක්,

කිරි මිලිලීටර් 300ක්, කාමර උෂ්ණත්වයේ ඇති බටර් ග්‍රෑම් 40ක්, බිත්තර 01 ක් පිළිගැන්වීමට පැණි සමඟ බටර්, මාගරින්, ස්ට්‍රෝබෙරි, ඇපල්, කෙසෙල් හෝ බ්ලූබෙරි වැනි ඔබ කැමති පලතුරක් අවශ්‍යයි.

මුලින්ම පිටිවලට බේකිං පවුඩර්, සීනි සහ ලුණු කුඩු එකතුකර තරමක් විශාල වෙනත් භාජනයකට පෙරනයක් ආධාරයෙන් හලා ගන්න. හලාගත් පිටි මිශ්‍රණය හොඳින් මිශ්‍රකර ගන්න. 

දැන් එයට බටර්, බිත්තර සහ කිරි එකතුකර කැට නොසිටින උකු මිශ්‍රණයක් ලැබෙන සේ හොඳින් මිශ්‍රකර ගන්න.  දැන් පැතලි සාස්පානක් ළිපතබා එය රත්වන විට එහි බටර්, මාගරින් හෝ තෙල් ස්වල්පයක් ආලේපකර ගන්න. තරමක් විශාල හැන්දක් ආධාරයෙන් සාදාගත් මිශ්‍රණයෙන් කොටසක් ගෙන එය සාස්පානට වත්කර ගන්න. වත්කර ගත් මිශ්‍රණය ඝනවී කුඩා බුබුළු ඒමට පටන් ගත්විට සෙමෙන් පරිස්සමින් අනෙක් පැත්ත හරවා ගන්න. තත්පර 30 ක් පමණ තබා ළිපෙන් ඉවත්කර ගන්න. (දෙපැත්ත රන්වන් පැහැ වී තිබිය යුතුයි) දැන් අපි පෑන් කේක් පිළියෙලකර අවසන්.

මඳ රස්නෙන් පවතින විටම ඊට උඩින් පැණි වත්කර බටර්, ජෑම් හෝ ඔබ කැමති පලතුරක් සමඟ උණුසුම්වම රස විඳින්න පුළුවන්. මෙය කුඩා දරුවන්ට සකසන ආහාරයක් නිසා ස්ට්‍රෝබෙරි පෙති, කෙසෙල් පෙති සහ චොකලට් බෝල වැනි දෑ එකතුකොට ලස්සන පෙනුමක් ලැබෙන සේ සකසා ගන්න.

Tharunie