Monday, April 29, 2024
Follow Us
කදිම රස ලෙමන් කේක්

විවිධ රසැති කේක් අතරට වෙනස්ම රසයක් ඇති ලෙමන් කේක් එකකි. දෙහි යුෂ එකතු කරගනිමින් සාදාගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය -

බිත්තර 6ක්

සීනි ග්‍රෑම් 200ක්

පිටි ග්‍රෑම් 150ක්

බේකින් පවුඩර් තේ හැඳි 02ක්

බටර් තේ හැඳි 02ක්

කිරි මේස හැඳි 05ක්

දෙහි යුෂ තේ හැඳි 03ක්

සූරාගත් දෙහි ලෙලි

තේ හැඳි 1/2ක්

සාදන ක්‍රමය

මුලින්ම බඳුනකට කිරි සහ බටර් දමා එය රත්වෙන්නට තබා ඉන්පසු නිවෙන්නට පසෙකින් තබන්න. ඉන්පසු බිත්තර සුදුමදවලට ලුණු ස්වල්පයක් එක්කරමින් ඝනවන තෙක් ගසන්න. බිත්තර ගසාගන්නා අතරතුරදී සීනිත් ටිකෙන් ටික දමන්න. බිත්තර කහ මද ද වරකට එක බැගින් එකතු කරමින් ගසන්න.

දැන් මෙයට සිහින්ව සූරාගත් දෙහි ලෙලි සහ දෙහි යුෂ තේ හැඳි තුන ද එක්කර ගන්න.

මීළඟට පිටි සමඟ බේකින් පවුඩර් එක්කර තුන්වරක් හලා ගන්න. දැන් පිටි සහ කලින් සකසා ගත් පිටි මිශ්‍රණය මාරුවෙන් මාරුවට දමමින් හැන්දකින් පෙරළන්න.

ඉන්පසුව විෂ්කම්භය අඟල් 9ක් වූ රවුම් තැටි 2ක් ගෙන එහි බටර් සහ සීනි තවරා එයට කේක් මිශ්‍රණය දමාගන්න. සෙල්සියස් අංශක 200ක උෂ්ණත්වය ඇති උඳුනක විනාඩි 20 - 25ක් පමණ බේක්කර ගන්න.

කේක් නිවුණු පසු එක් කේක් එකක් මත බටර් අයිසින් තවරා අනෙක් කේක් එක ඒ මතින් තබන්න.

බටර් අයිසින් සඳහා බටර් ග්‍රෑම් 50ක් අයිසින් සීනි ග්‍රෑම් 100ක් එක්කර බීට් කරගත යුතුයි. (ගසාගත යුතුයි)

දැන් මේ සඳහා ලෙමන් ෆ්‍රොස්ටින් අයිසින් සාදාගත යුතුයි. එය සාදාගන්නා අාකාරයයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

සීනි ග්‍රෑම් 150ක්

බිත්තර සුදුමද 02ක්

දෙහි යුෂ තේ හැඳි 03ක්

වතුර මේස හැඳි 05ක්

සාදන ක්‍රමය

බිත්තර සුදු මදය ඝන වනතෙක් ගසා ගන්න. දෙහි යුෂ, සීනි, වතුර එකට මිශ්‍රකර රත් කරන්න. එම මිශ්‍රණය මඳගින්නේ උතුරවන්න. මෙයින් බිංදු කිහිපයක් ඇල්වතුරට දැමූ විට මෘදු ගුළියක් ආකාරයට සෑදේ නම් මිශ්‍රණය පදමට උකු වී ඇත. එවිට මෙම සීනි මිශ්‍රණය ගසාගත් බිත්තර සුදුමද මතට වත්කරමින් ඉතාම වේගයෙන් බීටරයෙන් ගසා ගන්න. ගසාගත් මිශ්‍රණය සහිත බීටරය උඩට ඔසවන විට මිශ්‍රණය පහළට නොවැටෙන ආකාරයෙන් තිබෙනතෙක් නොකඩවාම ගසන්න. මෙය වහාම කේක් එක වටා තවරා ඉන්පසු පිහිතුඩකින් හෝ ගෑරුප්පුවකින් කැමැති ආකාරයට සකසා ගන්න.

Tharunie