Tuesday, May 14, 2024
Follow Us
මාස්මෙලෝ පුඩිම

රසම රස අඩු වියදම් අතුරුපසක් සාදා ගනිමු

මෘදුවට හැපෙන මාස්මෙලෝ රස බලන්න කවුද අකැමැති. විශේෂයෙන්ම පොඩ්ඩන් හරිම ආසාවෙන් කන අතුරුපස වර්ග අතරින් ඉහළින්ම තිබෙන අතුරුපසක් කිව්වොත් නිවැරැදියි. නිතරම කන මාස්මෙලෝ කෑල්ලකට වඩා මාස්මෙලෝ පුඩිමක රස බැලුවොත් කොහොම ද? මේ විදිහට හදලා බලන්න.

මේ පුඩිං එක හදන්න අවශ්‍ය වෙන්නේ සීමිත ද්‍රව්‍ය ටිකක්.

*බිත්තර 8ක්, සීනි ග්‍රෑම් 300ක්, ජෙලටින් තේ හැඳි 4ක්, වැනිලා තේ හැන්දක් සහ ඔබ කැමැති වර්ණක තුනක් අවශ්‍යයි. ඒ වගේම මේ පුඩිං එක හැදුවට පස්සේ ලස්සනට සරසගන්නත් ඕනේ. ඒකට කජු සහ මුද්දරප්පලම් ස්වල්පයකුත් අවශ්‍ය වෙනවා. හැබැයි කජු වෙනුවට බැදපු රටකජු ටිකක් වුණත් එකතුකර ගන්න පුළුවන්. ඕනෙ නම් චෙරි ගෙඩි කිහිපයකුත් එකතු කරගන්න පුළුවන්.

දැන් අපි මාස්මෙලෝ පුඩිම හදන්න පටන් ගමු.

මුලින්ම බිත්තරවල සුදු මද පමණක් අරගෙන බීට් කරන්න. බිත්තර සාරු හොඳින් ඝන වූ පසු එයට සීනි ටික ටික එකතුකර තව තවත් බීට් කරගන්න. දැන් එයට ජෙලටින් ටික එකතුකර ගනිමු. දැන් නැවත වරක් බීට් කරගන්න. මේ මිශ්‍රණය සමාන කොටස් තුනකට වෙන්කර භාජන තුනකට දමාගන්න. එක් එක් බාජනවලට එක් එක් වර්ණක එක්කර මිශ්‍රකර ගන්න. දැන් ට්‍රේ එකක් සූදානම් කරගන්න. එක් වර්ණයකින් ලේයර් එකක් ට්‍රේ එකට දමා ගන්න. ඊට වෙනත් වර්ණයකින් ලේයර් එකක් දමා ගන්න. ඊටත් උඩින් තවත් වර්ණයකින් ලේයර් එකක් දමන්න. මෙලෙස සාදාගත් මාස්මෙලෝ පුඩිම උඩින් කජු සහ මුද්දරප්පලම් ඉස සරසා ගන්න. ශීතකරණයේ තබා රස බලන්න.