Tuesday, May 14, 2024
Follow Us
පයිනැපල් අප්සයිඩ් ඩවුන් පුඩිම

රසම රස අඩු වියදම් අතුරුපස රසම රස අඩු වියදම් අතුරුපසක් සාදා ගැනීම

අන්නාසිවලින් සකසන මේ පුඩිම පෙනුමෙන්ම ඉතාම රසවත් බව පෙනී යාවි. අතුරුපසකට වඩා තේ වෙලාවට කදිම මේ රසවත් ආහාරය මේ විදිහට හදලා බලමු.

පයිනැපල් පුඩිම සකසද්දී කැරමල් එකට සහ කේක් එකකට වෙන වෙනම අමුද්‍රව්‍ය සූදානම් කරගත යුතුයි.

කැරමල් සඳහා ගාගත් හකුරු හෝ දුඹුරු සීනි ග්‍රෑම් 160ක්, පොඩියට කපාගත් බටර් ග්‍රෑම් 60ක් අවශ්‍යයි.

කේක් එකට ඉදුණු අන්නාසි ගෙඩියක්, පිටි ග්‍රෑම් 200ක්

, බේකිං පවුඩර් තේ හැඳි 2ක්, ලුණු තේ හැඳි 1/4ක්, බිත්තර 2ක්, බටර් ග්‍රෑම් 110ක්, සීනි ග්‍රෑම් 200ක්,

වැනිලා තේ හැඳි 1ක් සහ කිරි මිලි ලීටර් 120ක් අවශ්‍ය වෙනවා.

මේ පුඩිම හදන්න අමුද්‍රව්‍ය ලොකු ප්‍රමාණයක් අවශ්‍යයි වගේ පෙනුණට හදාගන්න හරිම පහසුයි.

මුලින්ම කැරමල් සඳහා අවශ්‍ය හකුරු, බටර් අඩු ගින්දරින් හැඳි ගාමින් රත්කර ගන්න. එහි කැට නැති වූ විට හැඳි ගෑම නතරකර වටේ බුබුළු දමනකම් රත්කර ගන්න. එය කර නොවෙන්න සාදා ගන්න ඕනේ. දැන් මේ කැරමල් එක නිවෙන්න කලින් බේකිං පෑන් එකට දමා ගන්න. එහි පතුල වැසෙන ලෙස එය තුනීකර ගන්න.

දැන් අපි අන්නාසි පෙති ටික සූදානම්කර ගනිමු.

අන්නාසි ගෙඩිය සුද්දකර හතරට පළා බඩය ඉවත් කරන්න. අඟල් 1/4ක් විතර ඝනකමට පෙති කපා ගන්න. ඒවා කැරමල් එක උඩින් ඉතා ළඟින් හිඩැස් අවම ලෙස පතුල වැසෙනකම් එක තට්ටුවක් ලෙස තියන්න.

දැන් කේක් එක හදාගනිමු. බේකිං පවුඩර්, ලුණු කලවම්කර දෙවරක් හලා ගන්න. ඉන්පසු බිත්තර කහමද වෙන්කර ගන්න. දැන් බටර් ක්‍රීම් වනතුරු බීට්කර ගන්න ඕනේ. සීනි කලවම්කර විනාඩි කිහිපයක් බීට් කරන්න. බිත්තර කහමද එක බැගින් එකතුකර බීට් කරන්න. වැනිලාත් එකතුකර ගන්න.

දැන් බීට් කරනගමන් පිටි මිශ්‍රණයෙන් 1/3ක් එකතු කරන්න. එය හොඳින් කලවම් වූ පසු කිරිවලින් 1/2 ක්ද ඉතුරු පිටිවලින් 1/2ක් ද නැවත ඉතුරු කිරි අවසානයේ ඉතුරු පිටිද එකතුකර ගන්න. (පිටි තුන්පාරකටද, කිරි දෙපාරකටද එකතු විය යුතුය.)

බිත්තර සුදුමඳ වෙනම ඉතා හොඳින් ගසා ගන්න.(පෙණ කඩා වැටෙන ගතිය යනකම් බීට් කරන්න.)

ගසාගත් බිත්තර සුදු මද කේක් මිශ්‍රණයට දමා හිමින් පැතලි හැන්දකින් කලවම්කර ගන්න.

එය අන්නාසි දැමූ පෑන් එකට හිමින් දමා ගන්න. විනාඩි 45-55 ක් සෙල්සියස් අංශක 180 ට බේක්කර ගන්න. මැදට ටූත් පික් එකක් ගැසුවිට එහි කිසිත් ගෑවී නැත්නම් උඳුනෙන් පිටතට ගන්න.

පෑන් එකේ අයින වටේට පිහිතලයක් යවා කේක් එක බුරුල් කරගන්න. පැතලි පිඟානක් පෑන් එක උඩින් තබා උඩයට ගසාගන්න. අන්නාසි කැබලි පෑන් එකේ ඇලී ඇත්නම් ඒවාද කේක් එක උඩින් අතුරාගන්න. දැන් උණුවෙන්ම රස බලන්න පුළුවනි.

-Tharunie