Friday, April 26, 2024
Follow Us
හැඩැති සිරුරකට වෙජි සැලඩ්

සිත් පහන්වන බැතිබර වෙසක් සමය උදා වෙලා. උතුම් තෙමඟුල සිහිකරන වෙසක් පොහොයට හැමෝම සූදානම් වෙන්නේ පහන් සිතින්. ඒ නිසාම බෞද්ධ ජනතාව මේ සමයේ නිර්මාංස දිවි පෙවෙතක් ගත කරන්න වැඩි වැඩියෙන් නැඹුරු වෙනවා. ඒ නිසාම මේ නිර්මාංස ආහාර වට්ටෝරු කිහිපය ඔබටයි.

බත් වේලක් කනකොට ඒකට තෙල් දාපු දෙයක් එක්ක, හොදි ව්‍යාංජනයක් එක්ක සලාදයක් තියනවනම් ඒ වේල සම්පූර්ණයි වගේ දැනෙනවා නේද? එහෙනම් ගොඩක් අයට මඟ​ඇරෙන සලාදවලින් කිහිපයක රෙසිපි ගෙනල්ලා තියනවා. හැමදාම වේලකට සලාදයක් එකතු කරගන්න එක ශරීර සෞඛ්‍යටත් ගුණදායකයි.

උපදෙස්
විධායක සූපවේදී
සුජිත් ආරියරත්න
පිපිඤ්ඤා සලාදය
පිපිඤ්ඤා ගෙඩි 01ක්
ලොකු ලූනූ ගෙඩි 01ක්
තක්කාලි ගෙඩි 01ක්
අමු මිරිස් කරල් 01ක්
මී කිරි මේස හැඳි 02ක්
ගම්මිරිස් කුඩු තේ
හැඳි 1 1/2ක්
ලුණු සහ දෙහි රස අනුව
ඔලිව් තෙල් තේ හැන්දක්

පිපිඤ්ඤා, ලූනූ, තක්කාලි සහ අමු මිරිස් කපාගෙන එකට මුසු කර පසෙකින් තබන්න.
මී කිරිවලට ගම්මිරිස්, ලුණු, දෙහි සහ ඔලිව් තෙල් එක් කොට පසෙකින් තබන්න. අවසානයේ මේ දෙකම එක් කොට හැන්දකින් කලවම් කරන්න.
----------------------
ඇපල් සලාදය

ඇපල් ගෙඩි 03ක්
සලාද කොළ මිටක්
ගෝවා ග්‍රෑම් 250ක්
ලොකු ලූනූ ගෙඩියක්
තක්කාලි ගෙඩියක්
අමුමිරිස් කරල් 3ක්
යෝගට් එකක්
සීනි තේ හැන්දක්
ඔලිව් ඔයිල් තේ හැන්දක්
ගම්මිරිස් තේ හැන්දක්
ලුණු
දෙහි
විනාකිරි අවශ්‍ය පමණට

දෙහි මිශ්‍ර අයිස් වතුරේ කොටුවට කපාගත් ඇපල් දමා මඳ වේලාවක් තියෙන්න හරින්න.
ගෝවා, සලාද කොළ, ලූනූ, තක්කාලි, අමුමිරිස් යන ඒවා සිහින්ව කපා තබාගන්න.
යෝගට් එක වෙනම බඳුනකට දමා එයට සීනි, ගම්මිරිස්, ලුණු, දෙහි, විනාකිරි එකතුකර තබන්න.
ආහාර ගැනීමට ළං වන විට ඉහත සියල්ල එක්කොට ඔලිව් ඔයිල් ස්වල්පයක් ද දමා මුසුකර පිළිගන්වන්න.
නැවුම් ලෙස ආහාරයට ගැනීමට අවශ්‍ය නම් ශීතකරණයේ තබා පසුව ආහාරයට ගන්න.

--------------------------
අලිගැටපේර සලාදය


ඉදුණු අලිගැටපේර ගෙඩියක්
තක්කාලි ගෙඩියක්
ලොකු ලූනූ ගෙඩියක්
කොත්තමල්ලි කොළ ස්වල්පයක්
අමු මිරිස් කරල් 02ක්
ලුණු සහ දෙහි අවශ්‍ය ප්‍රමාණයට

තක්කාලි, ලූනූ, කොත්තමල්ලි සහ අමු මිරිස් යන ඒවා සිහින්ව කපාගන්න. එයට දෙහි සහ ලුණු එකතු කරගන්න.
ගෑරුප්පුවකින් අලිගැටපේර ගෙඩිය කෑලි හිටින්න පොඩි කරගන්න.
මේ දෙක අවසානයේ ගෑරුප්පුවකින්ම මිශ්‍ර කරගන්න.

-----------------------------
වම්බටු හා අන්නාසි සලාදය
වම්බටු ග්‍රෑම් 500ක්
කපාගත් බී ලූනූ ගෙඩි 3ක්
කපාගත් මාළු මිරිස් කරල් 4ක්
කපාගත් තක්කාලි ගෙඩි 2ක්
කපාගත් අන්නාසි කැබලි ටිකක්
අඹ චට්නි මේස හැඳි 3ක්
තක්කාලි සෝස් මේස හැඳි 2ක්
මිරිස්කුඩු මේස හැන්දක්
ලුණු හා ගම්මිරිස් රස අනුව

මුලින්ම වම්බටු ගෙඩිය හීනි පෙති කපාගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
බෝල් එකක් අරගෙන ඒකට අඹ චට්නි ටික, තක්කාලි සෝස්, මිරිස්කුඩු, ලුණු හා ගම්මිරිස් කුඩු දාගෙන හොඳට කලවම් කරගන්න.
දැන් කපාගත් ලූනූ, අන්නාසි, තක්කාලි හා මාළු මිරිස් දාගන්න. අන්තිමට බැදගත් වම්බටු ටික එකතුකර රස බලන්න.

--------------------------

රශියන් සලාදය

අර්තාපල් අල ගෙඩි 3ක්
කැරට් අල 2ක්
ග්‍රීන්පීස් ග්‍රෑම් 250ක්
බෝංචි කරල් 8ක් පමණ
මයෝනිස් මේස හැඳි 5ක් පොඩි අන්නාසි ගෙඩියක්
ලුණු ස්වල්පයක්
ගම්මිරිස්කුඩු

මුලින්ම අල, කැරට් කොටුවට කපා ගන්න. අල ටික කූල් වතුර එකක පෙඟෙන්න තියන්න. අන්නාසි ගෙඩිය පොතු ​ඇර කොටුවට කපාගන්න. බෝංචි ටික හීනියට වගේ කපා ගන්න.
කැරට් ටික විනාඩි 2ක් තම්බගන්න. ඒක අයින් කරලා ඒ වතුරටම බෝංචි ටික විනාඩි 2ක් තැම්බෙන්න දෙන්න. ඒක අයින් කරලා ග්‍රීන්පීස් ටික විනාඩි 2ක් තම්බගන්න.
අන්තිමට අල ටික තැම්බෙන්න තියන්​න විනාඩි 3ක් විතර. හො​ඳට තැම්බුණාම වතුරෙන් පෙරාගන්න.

දැන් බෝල් එකක් අරන් ඒකට තම්බගත්තු අල, කැරට්, බෝංචි, ග්‍රීන්පීස් හා අන්නාසි ටික දාගන්න. ලුණු ස්වල්පයක් එකතු කරන්න. ගම්මිරිස් කුඩු ඇති පදම් දාගන්න.
දැන් මයෝනිස් ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ෆ්‍රිජ් එකේ තියලා කෑමට ගන්න.

------------------------
කරවිල තායි සලාදය
කරවිල ග්‍රෑම් 500ක්
සිහින්ව ලියාගත් බී ලූනූ ග්‍රෑම් 100ක්
සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 4ක්
සිහින්ව ලියාගත් තක්කාලි ගෙඩි 1ක්
සිහින්ව ලියාගත් කොත්තමල්ලි කොළ ග්‍රෑම් 30ක්
දෙහි ගෙඩියක යුෂ
ෆිශ් සෝස් මේස හැන්දක්
චිලි පේස්ට් මේස හැන්දක්

මුලින්ම පෙති කපාගත් කරවිල ටික ගැඹුරු තෙලේ බැදගන්න. ඊට පස්සෙ කපාගත් තක්කාලි ටික බැදගන්න. කොත්තමල්ලි කොළ ටිකත් ළාවට බැදගන්න.

දැන් බෝල් එකක් අරගෙන ඒකට ලියාගත් බී ලූනූ, අමුමිරිස් දාලා ඒකට චිලී පේස්ට් එකතු කරලා හොඳ​ට කලවම් කරගන්න. දැන් දෙහි යුෂ ටික දාලා ෆිශ් සෝස් දාගන්න.

අන්තිමට කරවිල ටිකයි බැදගත් තක්කාලි හා කොත්තමල්ලි කොළ ටික එකතු කරගන්න.

 Tharunie