Thursday, March 28, 2024
Follow Us
Sweet විදිහට පටන් ගන්න පුළුවන් Sweet කෑම

අලුත් අවුරුද්ද කියන්නේ අලුත් අලුත් බලාපොරොත්තු ඇති කරන නැවුම් බලාපොරොත්තු සමඟ ජීවිතය පටන් ගන්න හොඳම කාලය.

අපට පසුගිය අවුරුද්දේ තිබුණු ආර්ථික අපහසුතා නැතිකර ගන්න, තිබුණු බාධක බිඳගෙන ඉදිරියට යන්න අප සැම කෙනෙක්ම සිහින මවනවා. මෙලෙසින් අපේක්ෂා දල්වාගෙන නව වසරකට පියවර තබන්න ඔබට පැහැදිලි අරමුණක්, ඉලක්කයක්, අපේක්ෂාවක් තිබිය යුතුයි. ඒ සඳහා මුලින්ම කරන්න ඕනෙ කුමක් ද කියලා තීරණය කරන්න. ඉන්පසුව ඔබ සැලසුම් කළ ව්‍යාපාරය හෝ අපේක්ෂාව වෙත ක්‍රමානුකූලව ළඟා වෙන්න.

මෙවැනි පැහැදිලි අරමුණක් වෙත ළඟා වෙන්න පුළුවන් ගෘහිණියක් ලෙස ඔබට පහසුවෙන් ආරම්භ කළ හැකි ස්වයං රැකියා රාශියක් ගැන අප පසුගිය ලිපි ගණනාවක පළ කළා. ඒ සඳහා ඔබගෙන් අපට හොඳ ප්‍රතිචාර විශාල ප්‍රමාණයක් ලැබුණා. මෙවරත් අප ඔබට හඳුන්වා දෙන්නේ ගෘහිණියකට නැතිනම් කාන්තාවකට ගැළපෙන හොඳ ස්ව්‍යං රැකියාවක් ගැන පුංචි අදහසක් ලබා දෙන්න. අපේ ගෘහිණියෝ උයන්න පිහන්න රසවත් කෑම බීම හදන්න උපතින්ම දක්ෂයි. තමුන්ගේ දෑතෙ තිබෙන හැකියාව ප්‍රයෝජනයට ගෙන විවිධ වර්ගයේ රස කැවිලි නැතිනම් Sweet කෑම සකස් කිරීම හොඳ ලාභදායි ව්‍යාපාරයක්. ඒ වගේම හොඳ ඉල්ලුමකුත් තියනවා. පසුගිය දිනවල සෑම නගරයකම අපේ දේශීය රස කැවිලිවලට තිබුණේ පුදුම ඉල්ලුමක්. කැවුම්, කොකිස්, අලුවා වගේම ආස්මී වැනි කෑම බීම නිවෙසක හදන්න කාලයක් නැති නගරබද බොහෝ දෙනෙක් වෙළෙඳ පොළෙන් තමයි හැම කෑම වර්ගයක්ම මිලදී ගත්තේ. මේ නිසා අපේ බොහෝ ගෘහණියෝ ස්වයං රැකියාවක් ලෙස මෙවැනි ව්‍යාපාරයක් පටන් ගන්න දැන් උනන්දුයි.

අප ඔබට මෙවර හඳුන්වා දෙන්නේ මේ වගේම වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් තියන වසර පුරාම හොඳ අලෙවියක් ඇති රස කැවිලි නිෂ්පාදනය කරන ආකාරය. ඔබ රස කැවිලි නිෂ්පාදනයක් ආරම්භ කිරීමට අදහසක්වත් තියනවා නම් ඒ සඳහා මුලින්ම වෙළෙඳ පොළේ අලෙවියට ති‍ෙයන රස කැවිලි ගැන අධීක්ෂණයක් කරන්න. සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් ඇති රසකැවිලි තමයි තල කැරලි. තල කැරලි බෝතල් ලෙස හෝ පැකට් ලෙස තමයි වෙළෙඳපොළේ දකින්න ලැබෙන්නේ. මේ තල කැරලි නිෂ්පාදනයට අවශ්‍ය වන්නේ පොඩි අමුද්‍රව්‍ය ටිකක්. හකුරු, තල, සීනි වගේ අමුද්‍රව්‍ය කිහිපයක් තිබුණොත් මේ තල කැරලි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි කිරි ටොෆි සහ පොල් ටොෆි නිෂ්පාදනයත්. හොඳ අලෙවියකුත් තිබෙනවා.

ගපූර් නිෂ්පාදනයත් හොඳ අලෙවියක් ඇති රස කැවිලි වර්ගයක්. සීනි පතුරු ලෙස හඳුන්වන රස කැවිලි වර්ගයටත් ‍දැන් හොඳ අලෙවියක් තියෙනවා. රුලං නිෂ්පාදනයත් තවත් එවැනිම රස කැවිලි වර්ගයක්. ඒ වගේම දැන් සීනි මුරුක්කු සඳහා හොඳ ඉල්ලුමක් පවතිනවා.

තවත් සාර්ථක රසකැවිලි නිෂ්පාදනයක් තමයි දොදොල්. දේශීය ආහාරයක් ලෙස දොදොල් සෑදීම තරමක් අපහසු කටයුත්තක් වුණත් ක්‍රමානුකූලව ටික කාලයක් හැදීම කළොත් ඔබටත් දොදොල් සෑදීම ඉතාම පහසුවෙන් කරගන්න ක්‍රම කිහිපයක්ම තිබෙනවා. ඒ වගේම මේ ව්‍යාපාරය ටිකක් දියුණු මට්ටමට පැමිණි පසු ඔබට දොදොල් නිෂ්පාදනයට අවශ්‍ය උපකරණ මිලදී ගත්විට මේ ව්‍යාපාරය ඉතාම සාර්ථක ලෙස සිදු කරන්නත් හැකියාව තිබෙනවා. එසේම මේ ව්‍යාපාර ක්‍රමානුකූලව කළොත් කාලයක් ගතවන විට සාර්ථක ලෙස හොඳ ලාභයක් ලබාගත හැකි ව්‍යාපාරයක් බවට පත්වේවි.

අප මේ රසකැවිලි නිෂ්පාදන කිහිපය ගැන පුංචි හැඳින්වීමක් කළේ වෙළෙඳපොළේ දැනට පවතින ඉල්ලුම නිසයි. ඒ වගේම කොකිස් නිෂ්පාදනයත් දැන් හොඳ ව්‍යාපාරයක්. කොකිස් සාදා පැකැට් හෝ බෝතල් ලෙස අලෙවි කිරීම ගෘහණියකට පටන් ගන්න පුළුවන් හොඳ ස්වයං රැකියාවක්. මේ සියලුම රසකැවිලි වර්ග නිෂ්පාදනය කිරීම ආරම්භය තරමක් අසීරු බව ඔබට දැනේවි. ඒ තමයි ව්‍යාපාරයක ස්වභාවය. නමුත් අපහසුවෙන් කැපවීමෙන් ටික කාලයක් කරගෙන යනවිට ඔබට ඇතිවන ගැටලු, අලෙවිය සඳහා පවතින බාධක, වෙළෙඳ පොළට ඉදිරිපත් කළ යුතු ආකාරය, වෙළෙඳපොළේ පවතින ඉල්ලුම ගැන දළ අවබෝධයක් ලැබේවි.

ඒ අනුව වෙළෙඳපොළට ගැළපෙන, ඔබට අමුද්‍රව්‍ය පහසුවෙන් සොයාගත හැකි මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කරන්න මුල පුරන්න. එය නිවෙසක සිටින ගෘහණියකට අතට අමතර මුදලක් සොයා ගතහැකි ව්‍යාපාරයක් වගේම ක්‍රමානුකූලව දියුණු කර ගැනීමෙන් ඉතාම සාර්ථක ව්‍යාපාරයක් බවට පත්කර ගැනීමට ද හැකියාව තිබේ.

සටහන - දුමින්ද කාරියවසම්

Tharunie