Wednesday, April 24, 2024
Follow Us
නැදෑ ගමනට කදිමයි චොකලට් චිප් කේක්

අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අහවර වුණත් අවුරුදු අසිරිය තාමත් හිත් පුරා පැතිරිලා. තෑගි බෝග පොදි බැඳගෙන යන නෑදෑ ගමන් වාගේම යාළු හිත මිතුරන් එකතුවන ප්‍රියසාද තාම අහවර නෑ.

මේ බක් මාසය කියන්නෙම හිතවත්කම් අලුත් කරන මාසයක්නෙ.

ඉතින් ඒවාගේ නෑගම් යන්න, එහෙමත් නැතිනම් හිත මිතුරන් එකතුවන ප්‍රිය සාදයකට ඔබේ අතින් හදන කේක් එකක් අරගෙන යන්න කවුද අකැමැති නේද? ඉතා පහසුවෙන් මෙන්ම ඉක්මනින්ම සැකසිය හැකි මේ චොකලට් චිප් කේක් එක රසයෙනුත් හරි ඉහළයි.

*බටර් හෝ මාජරින් ග්‍රෑම් 250ක්

*සීනි ග්‍රෑම් 250ක්

*පිටි ග්‍රෑම් 240ක් (කේක් පිටි)

*බිත්තර 5 ක්

*කිරිපිටි - තේ හැඳි 02ක්

*බේකිං පවුඩර් තේ හැඳි 2ක්

*වැනිලා තේ හැඳි 2ක්

*ග්‍රේට් කරගත් කුකිං චොකලට් ග්‍රෑම් 75ක්

මුලින්ම පිරිසුදු භාජනයකට බටර් හෝ මාජරින් දමා ඊට සීනි එකතු කරන්න. අනතුරුව සීනි කැට දියවන තුරු හොඳින් බීට් කරගන්න. සීනි දිය වූ පසු එයට බිත්තර එකින් එක එකතු කරමින් බීට් කරන්න. මෙයටම වැනිලා තේ හැන්දක් ද දමා හොඳින් බීට් කරගන්න.

පිටි, කිරි පිටි, බේකිං පවුඩර් එකට හලා ගන්න. හලාගත් මේ පිටි මිශ්‍රණය ඉන්පසුව බටර්, බිත්තර මිශ්‍රණයට එකතු කරන්න. දැන් හොඳට ක්‍රීම් වනතෙක් බීට් කරගන්න. ඉන්පසුව මේ කේක් මිශ්‍රණයට ග්‍රේට් කරගත් කුකිං චොකලට් එකතුකර මිශ්‍ර කරගන්න.

දැන් කිලෝ ග්‍රෑම් එකක ප්‍රමාණයේ බේකිං තැටියක් ගෙන එයට තෙල් කඩදාසි දමා සකසා ගන්න. අනතුරුව සකසා ගත් කේක් මිශ්‍රණය තැටියට දමන්න. සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයට උදුන රත්කර විනාඩි 5 - 10ක් තබන්න. ඉන්පසුව රත්කර ගත් මේ අවන් එකට කේක් එක දමා විනාඩි 40 - 45ක් පමණ බේක් කරගන්න. (අවන් එකේ වර්ගය අනුව කාලය වෙනස් විය හැකියි)

මෙසේ බේක් කරගත් කේක් එක හොඳින් නිවෙන්නට හැර අයිසිං කරගත යුතුයි.

අයිසින් එක සාදන ආකාරය

*බටර් හෝ මාජරින් ග්‍රෑම් 125ක්

*අයිසිං සීනි ග්‍රෑම් 375ක් - 400ක් පමණ

*ටින් කිරි තේ හැඳි 1ක්

*වැනිලා තේ හැන්දක්

*චොකලට් පවුඩර් අවශ්‍ය පමණ

මෙලෙස සාදාගනිමු

බටර් හෝ මාජරින් ශීතකරණයෙන් ගෙන විනාඩි 5- 10ක් පිටත තබා හොඳින් බීට් කරගන්න. එයට අයිසිං සීනි ටික ටික එකතු කරමින් බීට් කරන්න. චොකලට් පවුඩර් අවශ්‍ය පමණ එකතු කරන්න. ඉන්පසු ටින්කිරි සහ වැනිලා ද එකතු කරමින් බීට් කරගන්න. දැන් අයිසිං මිශ්‍රණය සකසා අවසන්.

ඉන්පසුව කේක් එක තැටියෙන් ගලවාගෙන වටේ කොටස් ටික කපා කේක් එක නීට් කරගන්න.

දැන් සකසා ගත් අයිසිං කේක් එක උඩ සහ වටේට තවරා ගන්න.

මෙලෙස නීට් කරගත් පසු රූපයේ පෙනෙන ආකාරයට වටේට නො 20 නොසල් එකෙන් බෝඩරයක් දමා ගන්න. චොකලට්, චොකලට් බෝල සහ ස්ට්‍රෝබෙරි යොදා ගෙන ඔබ කැමැති පරිදි කේක් එක සරසා ගන්න.

නෑගම් යාම සඳහා ඉතා පහසුවෙන් ඉතා රසවත්ව ගෙදරදීම සාදා ගත හැකි කේක් එකකි.

Tharunie