Wednesday, May 01, 2024
Follow Us
කෙසෙල් අල පිට්ටු

මව මරා උපන් කුමරු ලෙසින් හැඳින්වෙන කෙසෙල්මුහය විවිධ රසයට සකසා ගැනීමට ඔබ දන්නවා. නමුත් කෙසෙල් ගසේ අලය ආහාරයට ගන්නා බවක් ඇතැම්විට ඔබ නොදන්නවා ඇති. මේ කෙසෙල් අල පිටි ලෙසින් සකසා එයින් හරි අපූරුවට පිට්ටු සකසා ගත හැකියි.

මෙලෙස කෙසෙල් අල පිටි සකසා ගැනීමේ දී අළු කෙසෙල් සහ ඇඹුල් කෙසෙල් යන වර්ග දෙකෙහි අල තෝර ගැනීම වඩාත් සුදුසුයි. කෙසෙල් ගසේ කැන කපා ගත් පසු එහි පොළව යට ඇති අලය ගසත් සමඟ ගලවා ගන්න. අනතුරුව කෙසෙල් ගසෙන් අලය වෙන්කර එහි ඇති මුල් හා පිට පොත්ත පිහියක ආධාරයෙන් ඉවත් කරගන්න. ඉන්පසුව අලය හොඳින් සෝදා පිරිසුදුකර එය ඉතා සියුම්ව පෙති ආකාරයට කපා තද අව්වේ වියළාගන්න. මෙලෙස හොඳින් වියළාගත් කෙසෙල් අල වංගෙඩියක හෝ බ්ලෙන්ඩරය ආධාරයෙන් කොටා පිටිකර ගන්න. එසේ සකසා ගත් පිටි යොදාගෙන අපි පිට්ටු සකසා ගනිමු.

කෙසෙල් අල පිටි අවශ්‍ය ප්‍රමාණයට

ගා ගත් පොල්

ලුණු ස්වල්පයක්

පිට්ටු කෑමට අවශ්‍ය පොල්කිරි

මුලින්ම කෙසෙල් අල පිටි ටික පෙනේරයකින් හළාගන්න. ඉන්පසුව අනෙක් පිට්ටු සකසා ගන්නා ආකාරයට මෙය කැට කරගත යුතුය. එහිදී පළමුවෙන්ම පොල්වලට ලුණු ස්වල්පයක් දමා මිශ්‍ර කරන්න. අනතුරුව එයට කෙසෙල් අල පිටි ටික ටික එකතු කරමින් හොඳින් කැට කරගන්න. මේ ආකාරයට සකසා ගත් මිශ්‍රණය පිට්ටු බම්බුවක හෝ ස්ටීමරයක ආධාරයෙන් හොඳින් තම්බා ගන්න. කුරහන් පිට්ටුවකට සමාන වර්ණයක් සහිත මේ පිට්ටු පොල් කිරි, ලුණු මිරිස් සමඟ රස විඳිය හැකියි. ඉතා රසවත් මෙන්ම ගුණවත් ආහාරයකි.

Tharuni