Wednesday, April 24, 2024
Follow Us
දේදුන්නේ වර්ණ අරන් Unicorn ඇවිත්

චමත්කාර වර්ණාවලියක් සහිත දේදුන්නට අපේ පුංචි පැටවු පුදුමාකාර විදිහට ආදරය කරනවා. කෙදිනකවත් දෑසින් නොදුටුවත් යුනිකෝන්ටත් ඒ වගේම ආදරෙයි. ඉතින් දේදුන්නේ වර්ණ එකතුකරලා හදන මේ රසවත් යුනිකෝන් කේක් එකට එයාලා කොයිතරම් නම් ආසා කරාවිදැයි බලන්න.

මේ කේක් නිර්මාණය කොටස් තුනකින් සමන්විත වේ. එම කොටස් තුනට මෙන්ම යුනිකෝන් සහ කේක් ටොපර්ස් සාදා ගැනීමට අවශ්‍ය ෆොන්ඩන්ට් අයිසිං එක අපි පළමුව සකසා ගනිමු.

* සුදු පාට මාෂ්මෙලෝ ග්‍රෑම් 800ක්

* අයිසිං සීනි කිලෝග්‍රෑම්  1/2 - 2 අතර ප්‍රමාණයක්

* වතුර මේස හැඳි 08ක් (මෙම ප්‍රමාණය කොටස් දෙකකට ගෙන සාදාගන්න. එවිට ඔබට පහසුයි)

lමාෂ්මෙලෝ සමඟ වතුර එකතුකර මයික්‍රෝවේව් එකේ විනාඩියක් තබන්න.

(එහෙම නැත්නම් ඩබල් බොයිල් ක්‍රමයට දියකරගන්න.)

lදියවී මදි යැයි හැඟෙන්නේ නම් තව විනාඩියක් තබන්න.

l දැන් රත්වී දියවුණු මාෂ්මෙලෝ හැන්දකින් තව හොඳට දියකරගන්න.

l එයට අයිසිං සීනි ටික ටික එකතු කරමින් හොඳින් අනාගන්න.

lඅතේ නොඇලෙන පදම එනතුරු අනන්න.

lදැන් අත්දෙකින් ඇද පදම හරිදැයි බලන්න.

lසාදාගත් ෆොන්ඩන්ට් ටික සුළං නොවදින පරිද්දෙන් පොලිතින්වලින් ආවරණය කර පසෙකින් තබාගන්න.

දැන් අපි කේක් ටික සාදා ගනිමු.

මෙහිදී කේක් නිර්මාණයේ පහළම කොටස සඳහා කිලෝග්‍රෑම් එකක රිබන් කේක් දෙකක් බේක් කරගන්න.

උඩ කොටස් දෙක සඳහා රිජිෆෝම් ඩමීස් පාවිච්චි කරන්න.

l පාන් පිටි ග්‍රෑම් 500ක්

l බටර් ග්‍රෑම් 500ක්

l සීනි ග්‍රෑම් 500ක්

l වැනිලා තේ හැඳි දෙකක්

l බනානා එසන්ස් බිංදු 3ක් පමණ

l බිත්තර 8ක්

l බේකිං පවුඩර් ග්‍රෑම් 30ක්

l කිරි මේස හැඳි 04ක්

~ බටර් හා සීනි හොඳින් ගසාගන්න.

~ එම මිශ්‍රණයටම බිත්තර එක බැගින් එක් කරමින් ගසාගන්න.

~ එයටම වැනිලා සහ බනානා එසන්ස් එකතු කරන්න.

~ පිටි සහ බේකිං පවුඩර් හොඳින් හලා ගන්න.

~ දැන් බටර්, සීනි බිත්තර මිශ්‍රණයට පිටි ටික ටික එකතු කරමින් කලවම් කරන්න. නැත්නම් මඳ වේගයෙන් බීට් කරන්න.

~ කිරි ටිකත් එකතුකර කලවම් කරන්න.

~ දැන් කේක් මිශ්‍රණය සමාන කොටස් දෙකකට වෙන් කරන්න. කේක් එකට ගැළපෙන පරිදි එක කොටසකට වර්ණ බිංදු දෙක තුනක් දමා කලවම් කරන්න.

~ බේකිං පේපර් දමා සකස් කරගත් අඟල් 11 තැටි දෙකකට කේක් මිශ්‍රණය වෙන වෙනම එක් කරන්න. ( එක තැටියකට කිලෝ එකක ප්‍රමාණය බැගින්.)

~ සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් අවන් එක විනාඩි 8ක් රත්කර ගන්න. අනතුරුව කේක් තැටි දෙක දමා විනාඩි 40ක් වෙන වෙනම බේක් කරන්න.

~ බේක් කරගත් කේක් දෙක අවන් එකෙන් පිටතට ගෙන හොඳින් නිවෙන්නට හරින්න.

~ හොඳින් නිවුණු පසු කේක් එක බටර් අයිසිං මඟින් සැන්ඩ්විච් සහ ක්‍රම්බ් කෝට් එක කරගනිමු.(මැද සහ වටේ බටර් අයිසින් මඟින් කවර් කරගනිමු.)

ඒ සඳහා,

l බටර් ග්‍රෑම් 450ක්

l අයිසිං සීනි ග්‍රෑම් 900ක්

l වැනිලා තේ හැඳි 1/4ක්

l කිරි මේස හැදී 1

~ බටර්, අයිසිං සීනි, වැනිලා, කිරි සියල්ල බඳුනකට දමා ක්‍රීම් එකක් වනතුරු බීට් කරන්න.

~ සාදාගත් මේ බටර් අයිසිං එකෙන් ඔබට කේක් සැන්ඩ්විච් සහ ක්‍රම්බ් කෝට් කරගත හැකියි.

~ මුලින්ම නිවුණු කේක් උඩ සහ වටේ දුඹුරු පාට කොටස් අයින් කරන්න.

~ අනතුරුව කේක් දෙක එක මත එක තබා එය කේක් බෝඩ් එකක් මත තබා සැන්ඩ්විච් කරන්න. ඉන්පසුව උඩ සහ වටේටත් බටර් අයිසිංවලින් ආවරණය කරගන්න.

~ දැන් සාදාගත් ෆොන්ඩන්ට්වලින් කොටසක් ගෙන රෝසපාට වර්ණ යොදා ලෑල්ලක් මත අයිසිං සීනි ඉස හොඳින් තුනී කරගන්න.

තුනීකරගත් ෆොන්ඩන්ට් එක මඟින් කේක් එක ආවරණය කරන්න.

~ මේ ආකාරයටම ඉතුරු ෆොන්ඩන්ට් කොටසට ගැළපෙන පාට යොදා රිජිෆෝම් ඩමි දෙකත් ආවරණය කරගන්න.

~ දැන් ෆොන්ඩන්ට් කොටසක් ගෙන යුනිකෝන් මුහුණ ටූත් පික් එකක් මඟින් හැඩ සටහන්කර කපාගන්න.

~ ෆොන්ඩන්ට් පොඩි කොටස් ගෙන දේදුන්නේ පාට අනුව කලරින් එක්කර වර්ණ ගන්වන්න.

~ එම පොඩි කොටස් එකින් එක අතින් තුනීකර කුඩාවට රෝල් සාදාගෙන කොටසකින් යුනිකෝන්ගේ කොණ්ඩය නිර්මාණය කරන්න.

~ පාට ගළපා දේදුන්න නිර්මාණය කරන්න.

~ ෆොන්ඩන්ට් කොටසකින් කෝන් එකක් ආකාරයට සාදාගන්න.

~ මේ සියල්ල කේක් එක මත සවිකර නිර්මාණය අවසන් කරගන්න. ඔබේ කැමැත්ත මත වලාකුළු, මල් ආදිය එකතු කරමින් මේ නිර්මාණය තවත් අලංකාර කරගත හැකියි.

උපදෙස් හා ඡායාරූප

ඉතාලියේ පර්මා හි

ප්‍රවීණ සූපවේදිනී

ජනනී ගුරුසිංහ

 

Tharunie