Saturday, April 20, 2024
Follow Us
යෙහෙළියගේ උපන් දිනයට පලතුරු පිරවු හදවතක්

ආදරණීය මිතුරියගේ උපන්දිනය කොහොම අමතක කරන්නද ?

ඒ දවස ආදරයෙන් සමරන්නට ඔබේ අතින්ම කේක් එකක් සකසා තිළිණ කරන්නට හැකිනම් එය අපූරු තිළිණයක්ම වේවි. ඉතා රසවත් ස්වාභාවික පලතුරුවලින් පිරුණු හදවතක හැඩය ගත් මේ චොක්ලට් කේක් එක ඊට කදිමයි නේද.

* ග්‍රෑම් 750 ප්‍රමාණයේ හදවත් හැඩයේ කේක් තැටියක්

* එම කේක් තැටිය උපයෝගී කරගෙන සාදාගත් චොකලට් කේක් දෙකක්

* බටර් අයිසිං

* අවශ්‍ය පළතුරු වර්ග කිහිපයක්

* කුකිං චොකලට් ස්වල්පයක්

* පළමුව කේක් දෙක සාදා නිවෙන්නට හරින්න.

* අනතුරුව එම කේක් දෙක ගෙන බටර් අයිසිංවලින් සැන්ඩ්විච් කරගන්න. කේක් එක වටේටත් අයිසිං කරන්න.

* ඉන්පසු පයිපිං බෑග් එකකට නොම්මර 47 නොසල් එක දමා වටේට බාස්කට් වියමනින් අයිසිං කරගන්න.

* කේක් එක මතුපිට කොටසේ එනම් හදවත් හැඩයෙන් භාගයක් පමණක් ඒ ආකාරයටම අයිසිං කරගන්න.

* දැන් කුකිං චොකලට් ටික ඩබල් බොයිල් කරන්න.

* කේක් තැටියේ හැඩය බේකිං පේපර් එකක ඇදගෙන එයින් භාගයක් පමණක් සාදාගත් කුකිං චොකලට්වලින් ආවරණය කරන්න.

* සාදාගත් මේ කුකිං චොකලට් හදවත් කොටස ටික වේලාවක් සවි වන්නට හරින්න.

* එය වියළෙනතුරු බාස්කට් වියමනෙන් අයිසිං නොකරපු කොටසට අවශ්‍ය ආකාරයට පලතුරු තබා හැඩ වැඩ කරගත හැකියි.

* අනතුරුව වියළාගත් චොකලට් හදවත් කොටස රූපයේ දැක්වෙන ආකාරයට අයිසිං ස්වල්පයකින් රඳවාගන්න.

* දැන් එහි උඩ කොටසත් බාස්කට් වියමනින් අයිසිං කරන්න.

* ඔබට කැමැති නම් උඩ කොටසත් පලතුරුවලින් හැඩ කරවා ගත හැකියි.

* අවසානයට බටර් අයිසිංවලින් නොම්මර 18 නොසල් එක යොදා ගෙන ෂෙල් හැඩයට කේක් එක වටේ බෝඩර් එක දාගන්න.

* මෙහි දැක්වෙන සුබ පැතුම ලිවීමට ඔබට නොම්මර 03 නොසල් එක භාවිත කළ හැකියි.

උපදෙස්

අප්ලන්ඩ් කේක්ස් ඇන්ඩ් ඇකඩමිහි

කේක් නිර්මාණ ශිල්පිනී චතූ රත්නායක

Tharunie