Wednesday, May 01, 2024
Follow Us
දුවට පුතාට උපන්දිනයට කිරි මුහුදක්

මුහුද කියන්නේම කොයිතරම් බලා සිටියත් එපා නොවන ස්ථානයක්. විශේෂයෙන්ම පොඩිත්තන් මුහුදට වාගේම මුහුදු රැල්ලටත් පුදුමාකාර කැමැත්තක් දක්වනවා.

ඒ වගේම තමයි නේක වර්ණයෙන් මත්ස්‍යයින්, මුහුදු ජීවීන්, මුහුදු පැළෑටි මේ ආදී මුහුද හා සබැඳි විවිධාකාර දේවල්වලට ඔවුන් හරිම කැමැතියි.

බලන්න ඔබගේ පුංචි පුතුගේ උපන් දිනයට මුහුද තේමා කරගත් මෙවැනි අපූර්ව කේක් නිර්මාණයක් සකසා ගත හොත් ඔහු මොනතරම් සතුටට පත් වේවිද කියා.

අවශ්‍ය ද්‍රව්‍ය:

* ග්‍රෑම් 750 ප්‍රමාණයේ රවුම් හැඩයේ

කේක් තැටියක්

* සාදාගත් රිබන් කේක් කිලෝ 1 1/2ක්

* බටර් අයිසිං

* ෆොන්ඩන්ට් අයිසිං

* මුහුදු තේමාවට අවශ්‍ය විවිධ හැඩයේ

කටර් වර්ග හා මෝල්ඩ් වර්ග කිහිපයක්

* බිස්කට් කුඩු

* කේක් නිර්මාණය සඳහා අවශ්‍යවන

ආහාරයට සුදුසු වර්ණක කිහිපයක්

මේ ආකාරයට සාදාගනිමු

* පළමුව ග්‍රෑම් 750 තැටියේ සාදාගත් කේක් දෙක හොඳින් නිවෙන්නට හරින්න.

* නිවුණු පසුව මේ කේක් දෙකට කපාගෙන බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරන්න.

* අනතුරුව කේක් දෙක එක මත එක තබා උසට පෙනෙන පරිදි සකසා ගත යුතුය. මෙහිදී කේක් එක මත එක ඇලවීම සඳහා එඩිබල් ගම් භාවිතකර ඇති අතර, එය සාදා ගැනීමට ජලය මේස හැඳි දෙකකට තයිලෝ පවුඩර් තේ හැන්දක් දමා හොඳින් මිශ්‍රකර ගම් එක සාදාගත හැකියි.

* දැන් සම්පූර්ණ කේක් ගෙඩිය වටා බටර් අයිසිංවලින් ආවරණය කරගන්න.

* ෆොන්ඩන්ට් ටිකක් ගෙන එයට නිල් පාට වර්ණය දමා මිශ්‍රකර හොඳින් තුනී කරගන්න.

* අනතුරුව එය පරෙස්සමට අයිසිං කරගත් කේක් එක මත දමා කවර් කරගන්න.

* දැන් කොළ පාට වර්ණය මිශ්‍ර කළ ෆොන්ඩන්ට් අයිසිං ටිකත් ගෙන හොඳින් තුනීකර පටි ආකාරයට තීරු කපා ගන්න.

* අනතුරුව ඒවා එකින් එක රෝල් කරමින් රූපයේ දැක්වෙන ආකාරයට කේක් එකේ පැත්තෙන් අලවාගන්න.

* කේක් එක මතුපිට සිටුවා ඇති මුහුදු පැළෑටි ද ෆොන්ඩන්ට් අයිසිං ආධාරයෙන් සකසාගෙන කම්බි හෝ ටූත් පික් ගසා රඳවාගන්න.

* ඉන්පසු මුහුදු වැලි සේ පෙනෙන ආකාරයට කේක් එක වටේට සිහින්ව කුඩු කරගත් බිස්කට් කුඩු දමාගන්න.

* මෙහි සිටින කහ සහ තැඹිලි පැහැති මාළුවන් ඔබට කටර් එකක ආධාරයෙන් කපා ගත හැකියි.

*අනික් 3D මාළුවෝ දෙදෙනා ද ෆොන්ඩන්ට් අයිසිංවලින් සාදාගන්න. ඒ සඳහා අවශ්‍ය නම් ඔබට වෙළෙඳපොළේ ඇති මෝල්ඩ් භාවිත කළ හැකියි.

* මෙහි දැක්වෙන කහ, තැඹිලි හා දම් වර්ණයෙන් යුත් මුහුදු මල් සාදා ගැනීමට නම් පළමුව ෆොන්ඩන්ට් බෝල සාදා ගන්න. අනතුරුව ඒවා ස්පොන්ච් එකක් මත තබා බෝල ටූල් එකෙන් ටූල් කරන්න.

* එලෙස සාදාගත් මුහුදු මල් ද අවශ්‍ය ස්ථානවල රඳවමින් එඩිබල් ග්ලූ ආධාරයෙන් අලවා ගන්න.

* ස්ටාර් ෆිෂ් සාදා ගැනීමට ඔබට තරු කටර් එක භාවිත කළ හැකියි.

* රතු හා දම් පැහැති කොටු හැඩයේ මුහුදු මල් සාදා ගැනීමට නම් ෆොන්ඩන්ට් අයිසිං තුනීකර අවශ්‍ය හැඩයට කපා විවිධ ප්‍රමාණයේ නොසල් භාවිතයෙන් රවුම් කපා ඉවත් කරගන්න.

* මේ සිප්පු කටු සියල්ලම සකසාගෙන ඇත්තේ මෝල්ඩ් භාවිතයෙනි.

* බූවල්ලා සාදා ගැනීමට දම් පැහැති ෆොන්ඩන්ට් සිහින් තීරු ආකාරයට කපාගෙන වටේට බූවල්ලාගේ අඬු ලෙස පෙනෙන පරිදි අලවා ගන්න. ඉන් පසුව ෆොන්ඩන්ට්වලින් බෝලයක් සාදා එය බූවල්ලාගේ ඔළුව කොටස ලෙසින් සවි කරන්න. එඩිබල් පෙන් එකක් භාවිත කරමින් ඇස් හා කට ඇඳගන්න.

* මේ කේක් නිර්මාණය වඩාත් සුන්දර වී ඇත්තේ මනා වර්ණ සංයෝජනයෙනි. එබැවින් මෙහි වර්ණ ගැළපීම ඉතා වැදගත් බව මතක තබා ගන්න.

* එමෙන්ම ෆොන්ඩන්ට් අයිසිං තුනීකරන විට සහ එමඟින් විවිධ නිර්මාණ සකසා ගන්නා විට එහි ඇලෙන ස්වභාවය මඟ හරවා ගැනීමට කෝන්ෆ්ලවර් භාවිත කරන්න.

උපදෙස් -

අප්ලන්ඩ් කේක්ස් ඇන්ඩ් ඇකඩමිහි

කේක් නිර්මාණ ශිල්පිනී

චතූ රත්නායක

 

 Taruni